Feb 29, 2020

කොරෝනා "වසංගත තත්ත්වයක්" දක්වා වර්ධනය වීමේ අවදානමක්

කොරෝනාවෛරස් ව්‍යාප්තිය මේ වන විට "තීරණාත්මක ස්ථානයකට" ළගා වී ඇති අතර එය "වසංගත තත්ත්වයක්" දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඝෙබ්‍රියේසස් පවසයි.

ඔහු එම අනතුරු ඇඟවීම කළේ, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් දැඩි සටනක නිරත වෙද්දීය.

දෙවන දිනටත් චීනයට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් චීනයෙන් පිටත සෙසු රටවලින් වාර්තා විය.

ඉරානය සහ ඉතාලිය, වෛරසය පැතිරයාමේ කේන්ද්‍රීය ස්ථාන බවට පත්ව තිබේ. එම රටවල සිට සංචාරය කරන්නන් මගින් වෛරසය තවදුරටත් පැතිර යමින් පවතී.

"ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිදුවන්නේ කුමක් ද යන්න පිළිබදව අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා," වෛද්‍ය ටෙඩ්‍රෝස් පැවසීය.

ගෝලීය දත්ත අනුව මේ වන විට රටවල් 50ක පුද්ගලයින් 80,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී තිබේ. පුද්ගලයින් 2800 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ, චීනයේ හුබෙයි පළාතෙනි.

මේ අතර, සංචාරක සීමා කිරීම් නිසා ව්‍යාපාරික කටයුතු අඩපණ වනු ඇති බවට වන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙදපොළ පහත වැටී තිබේ.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රටවල් ගෙන ඇති පියවර මොනවා ද?

* චීනය, හොංකොං, ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

* සෞදි අරාබිය විදෙස් වන්දනාකරුවන් රටට ඇතුළු වීම නතර කර තිබේ. මෙම තීරණය ජූලි මාසයේ හජ් වන්දනාවට බලපානු ඇත්දැයි පැහැදිලි නැත.

* ඉරානය සිය පුරවැසියන්ට දන්වා ඇත්තේ, අනවශ්‍ය සංචාරවල නිරත නොවන ලෙසය. ටෙහ්රාන් ඇතුළු අනෙකුත් නගර ආශ්‍රිතව සිකුරාදා දේව මෙහෙයයන් අවලංගු කර තිබිණි.

* ඔස්ට්‍රේලියාව චීනයේ සිට පැමිණෙන අමුත්තන්ට පනවා තිබූ සංචාරක තහනම දීර්ඝ කර තිබේ.

* 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඉතාලියේ නගර 11ක් නිරෝධායනය කෙරිණි.

* ග්‍රීසිය සියලු උත්සව අවලංගු කරමින් සිටී.

(බීබීසී සංදේශය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top