Mar 11, 2020

COVID –19 පැතිරීම වසන්ගත තත්ත්වයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19 වෛරසය පැතිරීම වසංගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා විසින් මෙය ප්‍රකාශයට පත්කර ඇත.

අද වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා ඇති අතර ඉන් සිදුව ඇති සමස්ත මරණ ගණන 4,300 කි.

 

ආසාදිත ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් වන්නේ, බොලිවියාව,කොංගෝ ජනරජය,ජැමෙයිකාව හා තුර්කියයි.

කෙසේවුවද, කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ චීනයෙන් ගතවූ පැය 24 තුළ සොයාගෙන ඇති නව ආසාදිතයින් ගණන 24 ක් සහ මරණ ගණන 22ක් බව පැවසේ.

මෙවැනි පසුබිමක වූහාන් නගරයේ ස්ථාපිත කළ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන් වසාදැමීමට චීන රජය පියවර ගෙන ඇත.

මේ අතර නිරෝධායනය කටයුතු හේතුවෙන් අක්‍රීය වී ඇති සමස්ත ඉතාලියේ අසාදිතයින් ගණන 10,000 ඉක්මවා තිබෙන්නේ මරණ ගණන 631 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

වෛරසය ආසාදිත වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින නමුත් ඇයට රෝහලෙන් පිටව යාමට තවමත් අවසර හිමිවී නැතැයි වාර්තා වුණි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවමින්.

එරට වෛරසය ආසාදිතවූවන් අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නඩීන් ඩොරිස් ද වෙයි.

දකුණු කොරියාවේ ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 242 දෙනෙකු සමග සමස්ත ආසාදිතයින් ගණන 7755 දක්වා ඉහළ ගොස් ඇත.

එරටින් වාර්තා වන මරණ ගණන 60කි.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 35කට පසුව වීම විශේෂත්වයකි

මේ අතර නව කොරෝනා ව්‍යාප්තියෙන් ජර්මනියේ සමස්ත ප්‍රජාවෙන් සියයට 60ත් 70ත් අතර පිරිසක් ආසාදිතයන් බවට පත්විය හැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කේල් පවසයි.

ඇය මේ බව සඳහන් කළේ වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව පළමුවරට බර්ලිනයේදී මාධ්‍ය හමුවීමෙන් අනතුරුවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top