Mar 12, 2020

COVID-19 මැඩීමට ඉන්දියාව වීසා දීම අත්හිටුවයි

කොවිඩ් -19 පැතිරීම සීමාකිරීම සඳහා තෝරාගත් ඛාණ්ඩ කිහිපයක් හැරුණු විට සියලුම වීසා බලපත්‍ර මාසයක කාලයක් පුරාවට අත්හිටුවන බව ඉන්දියාව නිවේදනය කරයි.

රටේ විදේශ පුරවැසියන්ට ලබා දෙන වීසා රහිත ගමන් පහසුකම් ද අප්‍රේල් 15 දක්වා අත්හිටුවා ඇත.

මේ වන විට මන්දගාමී වී ඇති ඉන්දීය ආර්ථිකයට මෙන්ම සංචාරක, හෝටල් සහ ගුවන් සේවා කර්මාන්තවලට මෙම පියවර තවත් පහරක් වනු ඇති බව පැවසේ.

මේ වන විට ඉන්දියාවේ COVID-19 ආසාදිතයින් 73 ක් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේ නිවේදනය කර ඇති මෙම තීරණය බලනොපානු ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික, නිල, රැකියා සහ ව්‍යාපෘති වීසා බලපත්‍ර ඛාණ්ඩ වලට පමණක් බවත්, මෙය මසක කාලයකින් අනතුරුව යළිත් සමාලෝචනය කරනු ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවෙන් යුරෝපයට සංචාරක සීමා

මේ අතර, ඇමෙරිකාවද යුරෝපයට සංචාරක සීමාවන් පනවා ඇත.

කෙසේවෙතත්, මෙම සීමාවන් බලපානු ඇත්තේ ෂෙන්ජන් වීසා කලාපයට ඇති රටවල් 26ක සංචාරකයන් හට පමණි. ඒ අනුව, මෙම සීමාවන් බ්‍රිතාන්‍යයට, අයර්ලන්තයට වැනි යුරෝපා රටවල් කිහිපයකට බලනොපායි.

මෙම නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top