Apr 06, 2020

Covid-19 අඳුර දුරු කිරීමට ඉන්දියාව පහන් දල්වයි

රටපුරා පැවැත්වෙන Covid-19 සටන අතර, සියළුම විදුලිපහන් නිවා දමා පහන් හා ඉටිපන්දම් දල්වා එකමුතුබව පෙන්වීමට ඉන්දීය ජාතිකයන් එක්වී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට බිලියන 1.3 ක පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඊයේ (05) එරට වේලාවෙන් ප.ව. 9.00ට විනාඩි 09ක් පුරාවට සියළුම විදුලිපහන් නිවාදමා පහන් දල්වන ලෙසයි.

ඉටිපන්දම් සහ පහන් පත්තු කරමින් Covid-19 හි අන්ධකාරයට අභියෝග කරන මෙන් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

"ඍණාත්මක හැඟීම් විනාශ කරන සුබදායකත්වය, සෞඛ්‍යය සහ සමෘද්ධිය ගෙන එන පහන් එළියට ආචාර කරන මෙන් මෝදි මහතා ට්විටර් පණිවිඩයක් මගින් ජනතාවගෙන් ඉල්ලා ඇත.

පසුගිය 25දා සිට මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කර ඇති අතර, කෙටි දැනුම්දීමක් සමග ගත් එම පියවරත් සමග මිලියන ගණනක් අතරමං වී ආහාර නොමැතිව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පහන්දැල්වීමද, Covid-19 වසංගතය හේතුවෙන් පැණනැගුණු ඉහත සෞඛ්‍ය හා ආර්ථික අර්බුද වලින් අවධානය වෙනතකට යොමුකිරීමට ගත් පියවරක් බව මේ වන විටත් විවේචන එල්ල වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top