Apr 14, 2020

ඉන්දියාවේ ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරයි

ඉන්දියාවේ පවතින ලොක්ඩවුන් තත්ත්වය මැයි 03 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත.

දින 21ක් පුරාවට පැවති මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ දැඩි ආර්ථික හා සමාජීය බලපෑම් ඇති වී තිබේ.

ජාතිය අමතමින් මෝදි මහතා පවසා ඇත්තේ මෙම පියවර හේතුවෙන් බොහෝ පුද්ගලයන් ආහාර හා ප්‍රවාහන දුෂ්කරතාවයන්ට මුහුණදුන් බවට තමා පිළිගන්නා බවයි. "කෙසේවෙතත්, විනයගරුක සොල්දාදුවෙකු මෙන් රට වෙනුවෙන් ඔබ සියලු දෙනා මෙම කර්තව්‍යය සිදුකළා... ඒ වෙනුවෙන් ඔබ සැමට මගේ ප්‍ගෞරවය පුද කරනවා," යැයි ඔහු පැවසීය.

ප්‍රාන්ත සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කිරීමට කටයුතු කළ බව පැවසූ ඔහු, පවතින ක්‍රියාමාර්ග දිගටම පිළිපදින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, මෝදි මහතා මෙම තීරණය දැනුම් දෙන විටත් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කිරීමට ඇතැම් ප්‍රාන්ත කටයුතු කර තිබුණි. ඒ, මහාරාෂ්ට, පන්ජාබ්, තමිල්නාඩු, ටෙලිගනා, මිසෝරාම්, මේඝාලය, පොන්ඩිචෙරි, බටහිර බෙංගාලය සහ ඔරිස්සා යන ප්‍රාන්තයන් මෙම පියවර ගෙන තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top