Apr 16, 2020

Covid-19 දේශපාලනීකරණය කරන්න එපා! - WHO ප්‍රධානී (වීඩියෝ)

පවතින Covid-19 වසංගතය දේශපාලනීකරණය නොකරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ඉල්ලා තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා තිබුණේ, "තවත් බොඩි බෑග් අවශ්‍ය නැතිනම් ඔබ මෙම වසංගතය දේශපාලනීකරණය කිරීමෙන් වළකින්න,” යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත්වූ පළමු අප්‍රිකානුවා වන ගෙබ්‍රෙයිසස් මහතා,  ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයාද වේ.

"ජාතික මට්ටමින් පවතින පක්ෂ භේද, දෘෂ්ටිවාද ඇතුළු අනෙකුත් වෙනස්කම් අභිබවා කටයුතු කිරීමට හැකිවිය යුතුයි. දේශපාලන පක්ෂ අතර හෝ ආගමික කණ්ඩායම් අතර හෝ වෙනත් කණ්ඩායම් අතර හෝ ජාතික මට්ටමේ ඉරිතැලීමක් ඇති වුවහොත්, අපව පරාජය කිරීමට වෛරසයට හැකිවනු," ඇතැයි ඔහු පවසයි.

"එබැවින් අංක එකට වැදගත් වන්නේ ජාතික සමගියයි. පක්ෂ භේද අභිබවා කටයුතු කිරීම... මමත් කළින් දේශපාලඥයෙක්. මෙය තෙතරම් අසීරු කාර්යයක්ද කියා මම දන්නවා. දුෂ්කර වුවත් කළ යුතු නිවැරදි දේ එයයි. අවසානයේදී ජනතාව සියලු දේශපාලන පක්ෂවලට අයත් වෙනවා. සියළුම දේශපාලන පක්ෂවල අවධානය යොමු විය යුත්තේ සිය ජනතාව බේරා ගැනීමයි."

"එබැවින් කරුණාකර මෙම වෛරසය දේශපාලනීකරණය කරන්න එපා. ඔබලාට ජාතික මට්ටමින් ඇති වෙනස්කම් වෛරසය විසින් සිය වාසියට ගන්නවා. මාගේ කෙටි පණිවිඩය වන්නේ Covid-19 දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න. රටක වඩාත් දියුණු පද්ධතියක් තිබුණද, සමගියකින් තොරව අර්බුදය තවත් දරුණුවනවා. දේශපාලනයේ ලකුණු දමාගැනීමට Covid-19 භාවිතා කිරීමට අවශ්‍ය නෑ. තමන් පිළිබඳව ඔප්පු කර පෙන්වීමට ඔබලාට තවත් ක්‍රම රැසක් තියෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

"අප හොඳින් හැසිරෙන්න ඕන. අපට මේ වෛරසය පරාජය කළ හැක්කේ එලෙසයි... මෙය දේශපාලනය වෙනුවෙන් භාවිතා කළ යුත්තක් නෙමෙයි. එය ගින්දර සමග සිදුකරන සෙල්ලමක්. එබැවින් වෙන කවරදාටත් වඩා, අප ජනතාව ගැන සැලකිලිමත් වන්නේ නම් ජාතික සමගිය වැදගත් වේ," යැයි ගෙබ්‍රෙයිසස් මහතා අවධාරණය කළේය.
ගෝලීය සහයෝගීතාවයද ඉතා වැදගත් බවත්, ජාතික සමගිය සාර්ථක වූ විට ගෝලීය සහයෝගීතාවය ගොඩනැගීම පහසු වනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.

ගෙබ්‍රෙයිසස් මහතා ගේ වීඩියෝව පහතින් :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top