Apr 17, 2020

චීන ආර්ථිකය පහතට ; වුහාන් මරණ ඉහළට

නව කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා සහ ව්‍යාපාර වසා දැමීමට සිදුවීම නිසාවෙන්, දශක ගණනාවකට පසුව වසරේ මුල් කාර්තුවක් තුළදී චීන ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබී ඇත.

අද දින නිකුත් කළ නිල දත්ත අනුව, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන චීනයේ ආර්ථිකය 6.8% කින් පහතවැටී තිබේ.

වසර 1992දී කාර්තුමය සංඛ්‍යාලේඛන රැස්කිරීම ආරම්භ කිරීමෙන් පසුව චීනය, වසරේ මුල් කාර්තුවේදී ආර්ථික පසුබෑමකට ලක්වීමක් දක්නට ලැබුණු මුල් අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වූහාන් මරණ 50%කින් ඉහළට

මේ අතර, Covid-19 මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයෙන් වාර්තාවූ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 1,290 කින් 3,869 දක්වා වැඩිවී තිබේ.

මෙය 50% ක වැඩිවීමකි.

රෝහල් වලින් පිටත මියගිය පුද්ගල සංඛ්‍යා හා පමාවී ලැබුණු මරණ වාර්තා සමග මෙම මරණ සංඛ්‍යාව වැඩිවී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සතිගණනක් පුරාවට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් වී සිටි වූහාන් නගරයේ පණවා තිබූ ගමනාගමන සීමා පසුගියදා ලිහිල් කෙරුණි.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top