Apr 18, 2020

මැතිවරණය තැබූ දකුණු කොරියාවේ සුව වූ අයටත් යළි කොරෝනා  Featured

පසුගියදා මහ මැතිවරණයට මුහුණදුන් දකුණු කොරියාවේ Covid-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි එම වෛරසය ආසාදනයවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවත්, ඉන් 163 දෙනෙකු යළි Covid-19 වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී ඇත.

කෙසේවුවද, දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එය ප්‍රතිශතයක් ලෙස 2.1%ක් බවයි. 

Covid - 19 වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පවත්වනු ලැබූ අතර, එම මැතිවරණයෙන් ජනාධිපති මූන් ජයින් මහතාගේ ඩිමොක්‍රටික් පක්ෂය එරට ජාතික සභාවේ ආසන 300 කින් ආසන 163 ක් දිනා ගැනීමට සමත් විය.

එම පක්ෂයට සහාය පළකළ ප්ලැට්ෆෝම් පක්ෂය ද ආසන 17 දිනා ගැනීමට සමත්විය.

දකුණු කොරියානුවෝ ඡන්දය දැම්මෙත් මුඛ ආවරණ දාගෙන

මෙම මැතිවරණයේදී ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුතුවූයේ මුඛ ආවරණ පැළඳගෙනය. 

එසේම එහිදී මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතු වූ අතර ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමක්ද සිදු කළේය.

විෂබීජහරණය කෙරෙන දියර භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතු විය.

ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට පත් වූයේ ඉන් අනතුරුවය වන අතර තම මනාපය පරිදි ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද කුටියට යාමට ඉන් පසුව ඔවුනට අවසර ලැබිණි.

Covid-19 වෛරසය ලොව පුරා පැතිරයාම ආරම්භ වීමත් සමඟ ජාතික මැතිවරණයක් ප්‍රථම වරට පැවැත්වූ රට දකුණු කොරියාව වේ.

පක්ෂ 35 කින් අපේක්ෂකයෝ එම මැතිවරණයට ඉදිරිපත් වී සිටිහ.

වසර 16 ක් තුළ ප්‍රථම වතාවට වාමාංශික පක්ෂ සිය බහුතර බලය ආරක්ෂා කර ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top