Apr 22, 2020

ඉන්දීය හමුදාව මෙහෙ එන කතා බොරුවක් - මහ කොමසාරිස් කාර්යාලය

නව කොරෝනාවෛරසය මැඩලීමේ පියවර සඳහා සහය ලබාදීමට ඉන්දීය හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට පළ වූ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කිසිඳ වෛද්‍ය කණ්ඩායමක් හෝ හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් එය අසත්‍ය පුවතක් බවත්, තානාපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් නිව්ස් ෆස්ට් වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, ඊයේ (21) රාත්‍රියේ ඉන්දියාවේ PTI පුවත් සේවය වාර්තා කර තිබුණේ  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල වෙත වෙනම කණ්ඩායම් පිටත් කර යැවීමට ඉන්දියානු හමුදාව සූදානම් වෙමින් සිටින බවයි.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සාක් කලාපයේ සියලුම මිත්‍ර රටවලට උදව් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය වෙත මෙම කණ්ඩායම් පිටත් කර හැරීමට නියමිත බව එහි දැක්වේ.

ඉන්දීය හමුදා කණ්ඩායමක් පසුගිය මාසයේ මාලදිවයිනටත්, මේ මාසයේ කුවේට් වෙතටත් පිටත් කර යවා ඇති බවත් PTI වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top