May 05, 2020

ප්‍රංශයේ මුලින්ම කොරෝනා මතුවුනේ දෙසැම්බරේදී?

නියුමෝනියාවෙන් පෙළෙන බවට දෙසැම්බර් 27 දා හඳුනාගත් රෝගියෙකු හට ඇත්ත වශයෙන්ම වැළඳී තිබී ඇත්තේ Covid-19 කොරෝනාවෛරසය බව ඔහුගේ වෛද්‍යවරයා හෙළිකර තිබේ.

ප්‍රංශයේ පැරිසියේ ආසන්නව පිහිටි Avicenne Jean-Verdier රෝහල් සමූහයේ හදිසි ප්‍රතිකාර අංශ ප්‍රධානී - වෛද්‍ය යීව් කොහෙන් මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ එකළ මෙම රෝගියාගෙන් ගනු ලැබූ ස්වොබ් සාම්පලයක් මෑතකදී Covid-19 සඳහා පරීක්ෂා කළ බවත් එහි ප්‍රථිඵලය පොසිටිව් ලෙස පැමිණි බවත්ය.

මේ ආකාරයෙන් රෝගීන් 14කගේ ස්වොබ් සාම්පල පරීක්ෂාවට ලක් කළ බවත් මොහුගේ පමණක් පොසිටිව් ලෙස ප්‍රථිපලය පැමිණි බවත් කොහෙන් මහතා පවසා ඇත. මෙහි නිර්වද්‍යතාවය සනාථ කිරීමට මෙම සාම්පලය යළිත් දෙවතාවක් පරීක්ෂාවට ලක් කර ඇති බවත් එහි ප්‍රථිපලයේ වෙනසක් නොවූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සියට දැන්වූ බවත්, ඔවුන් සතු ස්වොබ් සාම්පල යළි පරීක්ෂා කරන මෙන් අනෙක් වෛරස් විද්‍යා විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් කොහෙන් මහතා පවසා තිබේ.

මෙම සොයාගැනීමට අනුව ප්‍රංශයෙන් වාර්තා වූ පළමු කොරෝනාවෛරස් රෝගියා වන්නේ මෙම රෝගියා ය. ප්‍රංශයෙන් කොරෝනාවෛරස් රෝගීන් තිදෙනෙකු මුල්වරට සොයාගත් බව නිල වශයෙන් වාර්තා වූයේ  ජනවාරි 24 දාය. ඉන් දෙදෙනෙකු චීනයේ වූහාන් නගරයට ගමන් කර තිබූ අතර, තෙවැන්නා පවුලේ සමීප සාමාජිකයෙකු විය.

කෙසේවෙතත්, වෛද්‍ය කොහෙන් ගේ සොයාගැනීමට අනුව ප්‍රංශයෙන් Covid-19 රෝගියෙකු වාර්තා වී තිබී ඇත්තේ මීට මසක කාලයට පමණ පෙරාතුවය.

මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති මෙම රෝගියා, රෝගය මුලින්ම පැතිර ගිය ප්‍රදේශ වලද සංචාරය කර නොතිබීම විශේෂයකි. එබැවින් ඔහුට එය බෝවූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් ගැටළුවක්ව පවතියි.

වෛද්‍ය කොහෙන් පවසා තිබුණේ මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ සතියේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top