May 12, 2020

වූහාන් වල මිලියන් 11ටම Covid19 පරීක්ෂණ?

නව කොරෝනාවෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයේ මිලියන 11ක ජනගහනයම  Covid-19 සඳහා පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව චීන මාධ්‍ය සඳහන් කරයි.

මේ සැලසුම තවමත් මුල් අදියරවල පවතින බවත්, දින 10 ක් තුළ පරීක්ෂණ සිදු කළ හැකි ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස වුහාන් හි සියලුම ප්‍රදේශ වලට දැනුම් දී ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

පසුගිය සතිඅන්තයේදී වූහාන් නගරයෙන් නව කොරෝනාවෛරස් රෝගීන් 06දෙනෙකු වාර්තා වූ අතර, ඊට පෙර අවසන් වරට එම නගරයෙන් කොරෝනාවෛරස් රෝගියෙකු වාර්තා වී තිබුණේ අප්‍රේල් 03දා ය.

කොරෝනාවෛරස් වසංගතය දරුණු ලෙස පැතිර යාමත් සමග සති 11 ක් පුරාවට ලොක්ඩවුන් කෙරුණු වූහාන් නගරය ක්‍රමක්‍රමයෙන් විවෘත වූයේ අප්‍රේල් 8දා සිටයි.

කෙසේවෙතත්, 'ග්ලෝබල් ටයිම්ස්' පුවත් සේවය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුම පවසා ඇත්තේ වූහාන් නගරයේ මුළු ජනගහනයම පරීක්ෂාවට ලක්කිරීම යනු අපහසු හා මිල අධික කර්තව්‍යයක් බවයි.

මේ හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන් ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප සම්බන්ධතා පැවති පුද්ගලයන්, වැඩිහිටියන් වැනි විශේෂ පුද්ගල කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානය යොමුකෙරෙනු ඇති බව බව වූහාන් විශ්ව විද්‍යාලයේ ජොංනන් රෝහලට අයත් දැඩි සත්කාර ඒකකයේ අධ්‍යක්ෂ පන් ජීයොං මහතා පවසා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top