May 13, 2020

පුටින්ගේ ප්‍රකාශකයාටත් කොරෝනා!

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් හට ද Covid-19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රුසියාවේ අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් ට පසුව එරට Covid-19 ආසාදනය වූ ප්‍රධානතම නිලධාරියා ඔහුය.

මේ වන විට රුසියාවේ Covid-19 ආසාදිතයන් ප්‍රමාණය 232,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ අනුව, ලෝකයේ වැඩිම ආසාදිතයන් සිටින රටවල් අතරින් රුසියාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

පසුගිය පැය 24 තුළ රුසියාව තුළ ආසාදන 10,899 ක් වාර්තා වී ඇති අතර, 10,000 ට වඩා වැඩි ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ අඛණ්ඩව දසවැනි දිනටයි.

එතරම් ඉහළ ආසාදිත ප්‍රමාණයක් සිටියද, රුසියාවෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ Covid-19 මරණ 2,116ක් පමණි. රජයේ නිලධාරීන් පවසන්නේ එරට පැවති පුළුල් පරීක්ෂණ වැඩසටහන එම අඩු මරණ අනුපාතයට වගකිව යුතු බවයි. කෙසේවුවද, බොහෝ දෙනා විශ්වාස කර සිටින්නේ සත්‍ය  සංඛ්‍යාලේඛන මීට වඩා වැඩි බවයි.

රුසියාවේ ලොක්ඩවුන් තත්ත්වය මේ වන විට ලිහිල් කිරීමට ජනපති පුටින් මහතා කටයුතු කර ඇති අතර, කර්මාන්ත ශාලා හා ගොඩනැගිලි ඉදිකිරීම් සේවකයන් ඊයේ දින සිය රැකියා වලට වාර්තා කර තිබුණි. පවතින තත්ත්වයන් අනුව සුදුසු සීමාවන් පැනවීමට ජනපතිවරයා ප්‍රාදේශීය පාලනාධිකාරි ආයතන වලට නිදහස ලබාදී තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top