May 21, 2020

වැඩි මිලට වෙන්ටිලේටර් ගත් සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට

Covid-19 රෝගීන් වෙනුවෙන් වැඩිමිලට කෘතීම ස්වසන යන්ත්‍ර (ventilators) ගෙන්වීමේ ජාවාරමකට සම්බන්ධ වීම හේතුවෙන් බොලිවියාවේ සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ නවාහාස් අත්අඩංගුවට ගෙන තිබේ.

බොලිවියාවේ භාරකාර ජනාධිපතිනිය වන ජෙනීන් ඇනෙස් විසින් ඊයේ දින (20) මාර්සෙලෝව සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන්ද නෙරපා එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා තාවකාලිකව එම තනතුරට පත්කර ඇත.

මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මීට සම්බන්ධ යැයි පැවසෙන තවත් නිලධාරීන් ද ඔවුන්ගේ ධූර වලින් නෙරපා තිබේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශයේ ප්‍රධානියා හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සම්බන්ධ කටයුතු කරන AISEM නම් ඒජන්සියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ද අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Inter-American Development Bank (IDB) මූල්‍යාධාර වලින් ඇමෙරිකානු ඩොලර් 27,683 බැගින් වූ කෘතිම ශ්වසන යන්ත්‍ර 170 ක් GPA Innova නම් ස්පාඤ්ඤ සමාගමකින් ලබාගැනීම පිළිබඳව කරුණු හෙළිවීමත් සමග ඉහත පරීක්ෂණ අරඹා ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අල්වරෝ කොයිම්බ්‍රා පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් කිසිඳු මුක්තියක් නොලැබෙන බවයි.

චෝදනා ලබා ඇත්තේ ඇමතිවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ අධ්‍යක්ෂකවරයෙකු හෝ වේවා, ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බව කොයිම්බ්‍රා පවසයි.

දූෂිත ලෙස සතයක් හෝ ලබාගත් අයෙකු සිටියි නම් ඔවුන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට නියෝග කරන බවත්, මෙලෙස අයුතු ලෙස භාවිතා වූ සෑම සතයක්ම රජයට යළි ලැබිය යුතු බවත්, බොලිවියාවේ භාරකාර ජනාධිපතිනිය වන ජෙනීන් ඇනෙස් ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසා තිබේ.

රූපවානිය ඔස්සේ අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා තිබුණේ කවුරු වරදකරු ලෙස හෙළිවුවත්, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග කරන බවත් ය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top