May 23, 2020

පාකිස්ථාන ගුවන් අනතුරින් දෙදෙනෙක් බේරෙයි!

පාකිස්තානයේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති ගුවන් යානය, පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PIA 8303 දරණ ගුවන් යානය බව මැයි 22 සිකුරාදා පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු තිබේ.

එම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා පියාසර කළ ගුවන් යානයක් වන අතර ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේ දී ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී අනතුරට ලක්ව ඇත.

ගුවන් යානයේ මගීන් 91ක් හා කාර්ය මණ්ඩලයයේ 8 දෙනෙකු සිටි බව පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල්ලා හෆීස් තහවුරු කර තිබේ.

අනතුරෙන් ගුවන් යානයේ ගමන් කළ 99 දෙනාගෙන් දිවි බේරාගෙන ඇත්තේ දෙදෙනෙකු පමණක් බව වාර්තා වේ. 

මියගිය පිරිස 97ක් බව පාකිස්ථාන බලධාරීන් තහවුරු කර ඇති නමුත් ඒ සියලු දෙනාම ගුවන් මගීන්ද නැතහොත් ගොඩනැගිලි වල ජීවත් වූ පිරිස්ද මේ අතර සිටිනවාද යන්න මෙතෙක් තහවුරු කර නැත.

අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි එම ස්ථානයේ ඇති නිවාසවලට ද දැඩි හානි සිදුවී ඇති බවත් එම ස්ථානයට හදිසි සේවා ළඟා වී ඇති බවත් ඔවුන් මුදාගැනීමේ කටයුුතුවල නිරත බවත් වැඩිදුර වාර්තා කියා සිටී. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top