May 26, 2020

ට්‍රම්ප් ට හොඳ hydroxychloroquine පරීක්ෂණ WHO නවතයි

මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (hydroxychloroquine), Covid-19 ආසාදිතයින්ට ලබා දීම සඳහා සිදුකළ පර්යේෂණ අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

මේ අනුව, රටවල් කිහිපයක සිදුකළ සිදුකළ පරීක්ෂණ තාවකාලිකව නවතා ඇතැයි එම සංවිධානය පවසා තිබේ.

පසුගිය සතියේදී The Lancet නම් වෛද්‍ය ජර්නලයේ පළ කර තිබූ අධ්‍යයනයක සඳහන් කර තිබුණේ මෙම ඖෂධය මගින් කොරෝනාවෛරස් රෝගීන්ට කිසිඳු ප්‍රතිලාභයක් නොමැති බවත්, එය ගැනීමෙන් Covid-19 වැළඳී  රෝහල්ගතව සිටින ආසාදිතයන් අතර මරණ වැඩි විය හැකි බවත්ය.

කෙසේවෙතත්, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ප්‍රවර්ධනය කර තිබුණේ මෙම ඖෂධය හේතුවෙන්  හෘද රෝගී තත්ත්ව ඇතිවිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් සිදුකර තිබූ අනතුරු ඇඟවීම් ද නොතකා හරිමිනි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙම රෝගය වළක්වාගැනීමට තමා ද හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිතා කරන බවයි.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මැලේරියාව, ලූපස් හා ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් සඳහා ආරක්ෂාකාරීව නිර්දේශ කළ ඖෂධයක් වුවත්, මේ දක්වා පැවැත්වූ කිසිඳු සායනික පරීක්ෂණයක් විසින් එය Covid-19 සඳහා නිර්දේශ කර නොමැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top