May 29, 2020

ඕස්ට්‍රේලියාවේ පත්තර 112 ක් නැතිවෙයි!

Covid-19 වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමග ඕස්ට්‍රේලියාවේ පුවත්පත් රැසකට කණකොකා හඬා ඇතැයි වාර්තා වේ.

දැවැන්ත ජාත්‍යන්තර මාධ්‍ය ජාල හිමිකරුවෙකු වන රුපර්ට් මර්ඩොක් හට අයත් ඕස්ට්‍රේලියාවේ පුවත්පත් ව්‍යාපාරය පවසා ඇත්තේ ඔවුන් විසින් මුද්‍රණය කරන පුවත්පත් 100 කට වැඩි ප්‍රමාණයක මුද්‍රිත ප්‍රකාශන, ඩිජිටල් සංස්කරණ වලට සීමාවනු හෝ සම්පූර්ණයෙන්ම වසාදැමෙනු ඇති බවයි.

ලබන මාසයේ සිය කලාපීය සහ ප්‍රාදේශීය පුවත්පත් 76 ක් අන්තර්ජාලයට සීමා කර තවත් පුවත්පත්  36 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව 'නිවුස්කෝප් ඕස්ට්‍රේලියා'සමාගම පවසයි.

මෙම තීරණය හේතුවෙන් රැකියා අහිමි වනු ඇතැයි එම සමාගම පැවසුවද කෙතරම් රැකියා ප්‍රමාණයක් එලෙස අහිමි වන්නේදැයි ඔවුන් පවසා නැත.

කොරෝනාවෛරස් ලොක්ඩවුන් කිරීම් හේතුවෙන් වෙළඳ දැන්වීම් ඔස්සේ ලැබෙන ආදායම් ප්‍රවාහයට බලවත් පහරක් එල්ල වීමත් සමග එරට මාධ්‍ය ක්ෂේත්‍රයේ පසුබෑම වඩාත් වේගවත් වී තිබේ.

නිව්ස් කෝප් හි විධායක සභාපති - මයිකල් මිලර් පවසා තිබුණේ Covid-19 වසංගතය විසින්  ප්‍රජා සහ කලාපීය ප්‍රකාශනවල තිරසාරභාවයට බලපා ඇති බවයි.

මෙලෙස වෙනස් වන ප්‍රවණතා වලට අනුකූල වෙමින්, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රවෘත්ති මාධ්‍ය සමාගම ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කිරීමට 'නිවුස්කෝප් ඕස්ට්‍රේලියා' වෙනස්කම් වලට බඳුන් කරන බව හෙතෙම පැවසීය.

මෙම සැලැස්ම යටතේ නිව්ස් කෝප් හි ප්‍රධාන දිනපතා පුවත්පත් වන හෙරල්ඩ් සන් සහ ඩේලි ටෙලිග්‍රාෆ් කලාපීය වඩාත් ප්‍රාන්තමය වශයෙන් සිය පුවත් සඳහා අවධානය යොමුකරමින් ප්‍රදේශීය මාධ්‍යවේදීන් හරහා සිය පුවත් අන්තර්ගතයන් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

තවත් වසා දැමීම්

කෙසේවෙතත්, 'හොබාර්ට් මර්කරි' හෝ 'NT නිව්ස්'වැනි වඩාත් විශාල කලාපීය පුවත්පත් වල මුද්‍රිත ප්‍රකාශන දිගටම පළ කෙරෙනු ඇත.

මර්ඩොක් මහතාගේ ගෝලීය මාධ්‍ය අධිරාජ්‍යයේ මූලයන් ඇත්තේ ඕස්ට්‍රේලියානු පුවත්පත්වල වුවත්, ලෝකයේ බොහෝ රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද සාම්ප්‍රදායික මාධ්‍ය ක්ෂේත්‍රය පසුගිය කාලය පුරාවටම පීඩනයට ලක්වූයේ වෙළඳ දැන්වීම්කරුවන් ෆේස්බුක් සහ ගූගල් වැනි අන්තර්ජාල දැවැන්තයින් වෙත යොමුවීමට උනන්දු වීමත් සමගිනි.

'නිවුස්කෝප් ඕස්ට්‍රේලියා' සමාගමට අමතරව ඕස්ට්‍රේලියාවේ තවත් මාධ්‍ය සමාගම් කිහිපයක්ම මේ වන විට සිය මෙහෙයුම් කප්පාදු කිරීමට හෝ නවතාදැමීමට කටයුතු කර තිබේ. බස්ෆීඩ් ඕස්ට්‍රේලියා, 10 ඩේලි, ඕස්ට්‍රේලියන් ඇසෝසියේටඩ් ප්‍රෙස් මේ අතර වේ.

(මූලාශ්‍රය : බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top