Jun 08, 2020

චීනය, රටවල් 77ක ණය අයකර ගැනීම අත්හිටුවන්න යයි!

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ප්‍රදේශ 77කට ලබාදී ඇති ණය අත්හිටුවීමට තීරණය කළ බව චීනය පවසයි.
Covid-19 ට එරෙහි සටනේදී G20 සාමාජිකයන් සමග අඩු ආදායම් රටවල් හට උපකාර කිරීම වෙනුවෙන් ආරම්භ කළ ණය සහය වැඩපිළිවෙල යටතේ මෙලෙස කටයුතු කරන බව චීනය සඳහන් කරයි.

චීනයේ විදේශ කටයුතු පිළිබඳ උප ඇමති මා ජාඕෂු මහතා මේ බව ඊයේ (07) බීජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය.

කෙසේ වෙතත්, මෙලෙස ප්‍රතිලාභ ලබන රටවල නම් හෙළි කර නොමැත.

"Fighting COVID-19 China in Action" යන ධවල පත්‍රය මෙම මාධ්‍ය හමුවේදී එළිදැක්විණි. ලෝකය සමග සිය අත්දැකීම් බෙදාගන්නා අතරතුර චීනය විසින් Covid-19 වසංගතයට එරෙහිව ගත් පියවර මෙම ධවල පත්‍රයේ ඇතුළත් වේ.

මේ අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් ජාඕෂු මහතා වැඩිදුරටත් පවසා සිටියේ චීනය විසින් මේ වන විට වෛද්‍ය විශේෂඥ සහය, උපකරණ ආදී විවිධ ආකාරයෙන් රටවල් 150කට සහය දී ඇති බවයි.

චීනයද මුහුණදුන් අසීරු කාල වකවානුව තුළදී රටවල් 77ක් හා ජාත්‍යන්තර සංවිධාන 12ක් විවිධ සහන තොග චීනයට පරිත්‍යාග කළ බවත් ලොවපුරා ජනයා විවිධ ආකාරයෙන් චීනයට සහය දැක්වූ බවත් පැවසූ ජාඕෂු මහතා වැඩිදුරටත් සඳහන් කළේ චීනයට එම වටිනා මිතුදම් කිසිදිනක අමතක නොවන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top