Jun 09, 2020

කොරියාවේ උතුර - දකුණ අතර සන්නිවේදන නවතියි

දකුණු කොරියාව සමඟ පවතින සියලු සන්නිවේදන කටයුතු නැවැත්වීමට කටයුතු කරන බව උතුරු කොරියාව නිවේදනය කර ඇත.

දකුණු කොරියාවේ ‘සතුරැකම්’ යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති බැවින්, දකුණු කොරියා රජය සමඟ පවත්වන සියලු සන්නිවේදන කටයුතු නවත්වන බව උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක සදහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරටේ නායකයන් අතර පණිවුඩ හුවමාරුව සඳහා ස්ථාපිත කර ඇති දුරකථන මාර්ගය ද ඒ අනුව විසන්ධි කෙරේ.

උතුරු කොරියානු දේශසීමාවේ කේසොං නගරයේ පිහිටුවා ඇති 'සමබන්ධතා කාර්යාලයකට' යොමු කෙරෙන දෛනික දුරකථන ඇමතුම් ද අද (09) සිට නවතා දැමෙනු ඇති බව නිවේදනය කර තිබුණි.  

කොරියානු යූද්ධය 1953 දී නිම වූ අතර මේ දක්වා දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් තබා නොමැති නමුත්, 2018 දී කේසොං හි කාර්යාලය පිහිටුවන ලද්දේ දෙරට අතර මත ගැටුම් අඩු කිරීමේ එක් පියවරක් වශයෙනි.

ඇතැම් පිරිස් විසින් උතුරු කොරියාවට අත්පත්‍රිකා එවීම නතරකිරීමට දකුණු කොරියාව පියවර නොගතහොත් කේසොං හි කාර්යාලය වසා දමන බවට උතුරු කොරියානු නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ-ජොං පසුගිය සතියේදී තර්ජනය කර තිබුණි.

ඇය පැවසුවේ මෙම ක්‍රියාව 2018 පන්මුන්ජොම් සමුළුවේදී ඇති කරගත් සාම ගිවිසුම් උල්ලංඝනය කරන්නක් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top