Jun 13, 2020

බීජිං වල කොරෝනා යළි හිස ඔසවයි ; තොග වෙළඳසැල් 6ක් වසයි!

චීනයේ බීජිං අගනුවර පිහිටි තොග වෙළඳපොලක් අද (13) එරට වේලාවෙන් අළුයම 3.00ට පමණ වසාදමා තිබේ.

මෙම වෙළඳපොලේ සිටි සේවකයන් කිහිපදෙනෙකු හට Covid-19 වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ෂින්ෆාඩි නම් මෙම වෙළඳපොල වසාදැමීමට කටයුතු කර තිබේ.

මේ අතර, ආනයනය කරනු ලැබූ සැමන් කැපීම සඳහා භාවිතා කළ ලෑල්ලකද වෛරසය හමුවූ බව නිලධාරීන් පවසන බව CGTN පුවත් සේවය වාර්තා කරයි. මේ සමග සුපිරි වෙළඳසැල් රැසක් අද දිනයේදී අලෙවි කිරීමට නියමිතව තැබූ සැමන් මාළු නිෂ්පාදන ඉවත් කර තිබේ.

මෙම වෙළඳපොලේ සිටි පුද්ගලයන් 10,000ක් NAT පරීක්ෂණ (Nucleic Acid Test) වලට භාජනය කර ඇති බවද එහි දැක්වේ.

ඉදිරි සති කිහිපය තුළ වෙළඳපොලවල් තුළ අධීක්ෂණ කටයුතු ඉහළ දමන බව බීජීං බලධාරීන් පවසා ඇත.

මේ අතර, Covid-19 වැළඳුනු පුද්ගලයෙකු ගොස් තිබෙන ෆෙන්ටායි දිස්ත්‍රික්කයේ ජින්ෂෙන් මුහුදු ආහාර වෙළඳසැලද වසාදමා තිබේ.

ඊයේ දිනයේදී බීජිං අගනුවර පිහිටි ප්‍රධාන තොග වෙළඳසැල් 6ක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසාදමා ඇති බව CGTN සඳහන් කරයි.

මාස දෙකක් පුරාවට දේශීයව නව කොරෝනාවෛරස් රෝගීන් වාර්තා නොවීමෙන් අනතුරුව බීජිං නගරයෙන් පෙරේදා දින (11) එක් රෝගියෙකුද ඊයේ (12) දින රෝගීන් සයදෙනෙකුද වාර්තා විය.

මේ අතර, ෂින්ෆාඩි තොග වෙළඳපොලට කි.මී. 2ක් ඈතින් පිහිටි, පිට පළාත් වලට ගමන් කරන බස්රථ පිහිටි ෂින්ෆාඩි බස්නැවතුම්පොලද වසා දමා ඇත.

(CGTN පුවත් සේවය ඇසුරෙන්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top