Jun 17, 2020

චීන - ඉන්දීය ගැටුම් වලින් ඉන්දියාවේ 20ක් මරුට

හිමාල කඳුකරයේ චීන ඉන්දියා දේශ සීමාවේදී චීන හමුදා භටයන් සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

මතභේදයට තුඩුදුන් අක්සායි චින්-ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේදී මෙම ගැටුම හටගෙන ඇති අතර, දේශසීමාවේ දෙපස විශාල හමුදා ගොඩනැගීමක් සිදුවෙමින් පැවතීම මෙම ගැටුමට හේතුව බව කියැවෙයි.

සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව මීට පෙර පවසා තිබුණද, බරපතල ලෙස තුවාල ලැබූවන් 17 දෙනෙකු පසුව මියගිය බව පසුව ඉන්දියාව වාර්තා කර තිබුණි.

වසර 45 කට වැඩි කාලයක් තුළදී මෙම දේශ සීමා ප්‍රදේශයේ දෙරට අතර සිදුවූ පළමු මරණීය ගැටුම මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ වනවිට තත්ත්වය සමනය කිරීම සඳහා රැස්වී සිටින බව වාර්තා වෙයි.
ගැල්වාන් නිම්නයේ Line of Actual Control (LAC) කඩකර සිය දේශසීමා ප්‍රදේශවලට ඇතුල් වූ බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කර සිටියි.

චීන සොල්දාදුවන් 43 දෙනෙකු තුවාල ලබා හෝ මියගොස් ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරන බවට ANI පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණද, ඉන්දියාවෙන් හෝ චීනයෙන් නිකුත් කර ඇති නිල ප්‍රකාශ වල එවැන්නක් සඳහන් නොවේ.

මේ අතර, චීන හමුදාවේ ප්‍රධාන නිලධාරියෙකු හා ජ්‍යෙෂ්ඨ කර්නල්වරයෙකු වන ජාඕ ලිජියෑන් මහතා ඉන්දියාවෙන් ඉල්ලා තිබුණේ දේශසීමා උල්ලංඝනය කිරීම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවන් වහාම නතර කරන ලෙසත්, චීන පාර්ශවය සමඟ එකම ඉලක්කයක් කරා වැඩ කරන ලෙසත්, සංවාද හා සාකච්ඡා තුළින් වෙනස්කම් හා ගැටළු විසඳා නිවැරදි මාවතට පැමිණෙන ලෙසත්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top