Jun 25, 2020

ඇමෙරිකාවේ ප්‍රාන්ත 8කින් නිව් යෝක් ගියොත් නිරෝධායනයට

ප්‍රාන්ත කිහිපයකින් පැමිණෙන පුද්ගලයන් දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්කරන බව ඇමෙරිකාවේ නිව් යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් ප්‍රාන්ත ප්‍රකාශ කර තිබේ.

මේ දිනවල ඇමෙරිකාවේ ඇතැම් බටහිර හා දකුණුදිග ප්‍රාන්ත වලින් කොරෝනාවෛරස් රෝගීන් වාර්තාගත ප්‍රමාණයක් වාර්තා වේ.

ඒ අනුව, ඇලබාමා, ආකැන්සාස්, ඇරිසෝනා, ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ටෙක්සාස් සහ යූටා යන ප්‍රාන්ත වලින් පැමිණෙන පුද්ගලයන් 14 ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ පවසා තිබේ. මෙම ප්‍රාන්ත ගණන ඉදිරියේදී අඩු හෝ වැඩි විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය පුද්ගලයන් හට ඩොලර් 1,000ත දඩයක් නියමවිය හැකි බවත්, යළි යළිත් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට හෙළිදරව් වුවහොත් ඩොලර් 5,000 දක්වා දඩ නියම විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් පුරෝකථනය කර ඇත්තේ ඔක්තෝබර් මාසය වන විට කොරෝනාවෛරස් මරණ 180,000 ක් ඇමෙරිකාවෙන් වාර්තා වන ඇති බවයි. කෙසේවෙතත්, ජනතාවගෙන් 95%ක් පමණ මුව ආවරණ පැළඳුවහොත් එම මරණ ප්‍රමාණය 146,000ක් වනු ඇති බව එම විශ්ව විද්‍යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වන විට ඇමෙරිකාවෙන් කොරෝනාවෛරස් රෝගීන් මිලියන 2.3කට වැඩි ප්‍රමාණයක් හා මරණ 121,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top