Aug 05, 2020

බේරූට් පිපිරීමෙන් 78ක් මරුට

ඊයේ දින (04) ලෙබනනයේ බේරුට් අගනුවර සිදුවූ විශාල පිපිරීමෙන් පුද්ගලයන් 78ක් මියගොස් තවත් 4,000ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, සුන්බුන් අතර සිරවූවන් මුදවාගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, මියගිය ගණන ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බේරූට් වරායේ ගින්නක් ලෙස ඇරඹුනු මෙය, මුළු නගරයම දෙදරවමින්,දවැන්ත දුම් වළාවක් සමග පිපිරී යන අයුරු අන්තර්ජාලයට එක්වූ වීඩියෝ වලින් දැක්වේ.

ලෙබනන් ජනපති මයිකල් අඔන් පවසා තිබුණේ වසර 6ක් පුරාවට ගබඩාවක් තුළ අනාරක්ෂිත ලෙස ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් ගබඩා කර තිබූ බවට සොයාගෙන ඇති බවයි.

ලෙබනනය විසින් අද දිනයේ සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

හදිසි මූල්‍යාධාර ලෙස ලීරා බිලියන 100ක් මුදාහැරීමට රජය කටයතු කරන බවට ලෙබනන ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙම පිරිරීම සිදුවුයේ සංවේදී කාල වකවානුවකදීය. එනම් හිටපු අගමැති රෆික් හරිරි 2005 වසරේදී මරාදැමීමට අදාළ නඩුවිභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top