Aug 12, 2020

කමලා, බයිඩ්න්ගේ 'රනින් මේට්' වෙයි

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේදී සිය 'රනින් මේට්' හෙවත් උප ජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

එම තනතුරට නම්කළ ප්‍රථම කළු ජාතික සහ ආසියානු – අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ඇයයි.

ඉන්දීය සහ ජැමෙයිකානු සම්භවයක් සහිත කමලා හැරිස් , මෙවර ජනාධිපති සටනේ අපේක්ෂකත්වය සඳහාද තරඟ වැදුණු නමුත් ජෝ බයිඩන්ට පූර්ණ සහය පළ කරමින් පසුව ඉන් ඉවත්විය.

මීට පෙර උප ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නම් කර ඇත්තේ දෙවරක් පමණක් වන අතර ඔවුන් කිසිවකු එම තනතුර ජයග්‍රහණය කළේ නොමැත.

කමලා හැරිස්, ජෝ බයිඩන්ට මෙවර ජනපති සටනින් ජයගැනීමට ප්‍රබල සහයෝගයක් ලබාදෙනු ඇතැයි, විචාරකයෝ පෙන්වා දෙති.

අමෙරිකාවේ වර්ණභේද වාදයට එරෙහි විරෝධතා උත්සන්න වූ පසුබිමකදී , කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ කමලා හැරිස් වැනි අත්දැකීම්වලින් පරිපූර්ණ, ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ විවේචකයකු උප ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් නම් කිරීම ජෝ බයිඩන්ගේ වාසියට හේතුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top