Aug 13, 2020

ඇමසන් දැවී යාම, බොරුවක් - බ්‍රසීල ජනාධිපති

ඇමසන් වැසි වනාන්තරය ගිනිගෙන විනාශ කිරීම බොරුවක් බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසයි.

"නිවර්තන වැසි වනාන්තර වල ගිනි හට ගන්නේ නෑ. ඒ නිසා ඇමසන් දැවෙන මෙම කතාව බොරුවක්... අපි ඇත්ත සංඛ්‍යාලේඛන එක්ක සටන් කරන්න ඕනෑ," යැයි ඔහු පෙරේදා දිනයේදී පවසා තිබේ.

කෙසේවෙතත්, ඔහුගේම රජයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ ඇමසන් වනයේ ඇති වන ගිනිගැනීම් ඉහළ යමින් පවතින බවයි.

බ්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ ඒජන්සිය වන INPE හි චන්ද්‍රිකා දත්ත වලින් පෙනී යන්නේ පසුගිය මාසයේ බ්‍රසීල ඇමසන්හි ඇති වූ ලැව් ගින්න සංඛ්‍යාව 2019 ජූලි මාසයේ සිට 28% කින්, 6,803 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

විශේෂඥයන් පවසන්නේ මෙම ගිනිගැනීම් ස්වාභාවිකව ඇතිනොවූවක් බවත්, ගොවිතැන් කිරීම සඳහා නීතිවිරෝධී ලෙස ඉඩම් ගින්තබන්නන් විසින් අරඹා ඇති බවත්ය.

පසුගිය වසරේ මැයි මාසයේ දී ඇමසන් වැසි වනාන්තරය තුළ ඇරඹුනු ගින්න ඔක්තෝබර් දක්වා පැවති අතර, දේශගුණික විපර්යාස පිළිබඳ දැවැන්ත කතිකාවතකට මුලපුරා තිබුණි.

මේ වසරේ වියළි කාලය ආරම්භ වෙමින් පවතින අතර ඊටත් වඩා ගින්නක් ඇතිවිය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.

සංරක්ෂිත ඇමසන් ඉඩම් පතල් හා කෘෂිකර්මාන්තයට විවෘත කරන මෙන් බ්‍රසීල ජනපතිවරයා කර ඇති බලපෑම මේ වන විට දැඩි ලෙස දෝෂදර්ෂණයට ලක්ව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top