Aug 13, 2020

බුදුන්වහන්සේ ගැන ඉන්දීයාවේ ප්‍රකාශයට නේපාලයෙන් පිළිතුරු Featured

ගෞතම බුදු රජාණන් වහන්සේ  සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශ පවා සිදුකිරීමට සිදුවී තිබේ.

ඉන්දීය කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් ක්‍රියාකාරී සැසියක් වූ “ඉන්දියානු @ 75 සමුළුව” අමතමින් ඉන්දීය අමාත්‍යවරයා කියා සිටියේ ගෞතම් බුදුන් සහ මහත්මා ගාන්ධි යනු ලොව සිහිපත් කරන ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් දෙදෙනා බවයි.

මේ ප්‍රකාශයට නේපාලයේ දැඩි අවධානයක් යොමු වූ අතර එයට ප්‍රතිචාර දැක්වූ  නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සැකයෙන් හා මතභේදයෙන් ඔබ්බට පවතින බැවින් එය විවාදයට භාජනය විය නොහැකි” බවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ නේපාලයේ ලුම්බිණි හි උපත ලැබූ බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ කරන ලද සත්‍යයක් බවද බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සහ බුද්ධාගමේ උල්පත වන ලුම්බිනිය යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් එකක් බවද එම නිවේදනයේ දැක්වේ.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2014 දී නේපාලයේ  කළ සංචාරයේදී පාර්ලිමේන්තුව අමතමින් නේපාලය බුදුන්ගේ උපන් ස්ථානය ලෙස පිළිගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top