Aug 23, 2020

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලෝකයේ වයස්ගතම මිනිසා යැයි පැවසෙන දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වයස අවුරුදු 116ක් ආයු වළඳා අවසන් සුසුම් හෙළා ඇත.

ස්වාභාවික හේතූන් මත බ්ලොම් ඊයේ දින කේප් ටවුන්හිදී මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසයි. කෙසේවෙතත්, ඔහුගේ මරණය Covid-19 හා සම්බන්ධ යැයි පවුලේ අය විශ්වාස නොකරන බව එම පවුලේ ප්‍රකාශකයෙකු AFP මාධ්‍ය සේවයට පවසි තිබේ.

ෆ්‍රෙඩී බ්ලොම්ගේ හැඳුනුම්පත් ලේඛනවලින් පෙනී ගියේ ඔහු 1904 මැයි මාසයේදී නැගෙනහිර කේප් ටවුන් හිදී උපත ලැබූ බවයි.

නව යොවුන් වියේ සිටියදී ෆ්‍රෙඩී ගේ මුළු පවුලම ස්පාඤ්ඤ උණ වසංගතයට බිලිවුවද, ලෝක යුද්ධ දෙකකින් සහ වර්ණභේදවාදයෙන් දිවි ගලවා ගැනීමට ඔහු සමත් විය.

වසර 2018 දී බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම දීර්ඝ ආයුෂ සඳහා විශේෂ රහසක් නොමැති බවයි.

"ඇත්තේ එක දෙයයි. - ඒ උඩ සිටින කෙනා. [දෙවියන්] සම්පූර්ණ බලය තියෙන්නෙ ඔහු අතේ. මට කිසිදෙයක් නෑ. මට ඕන වෙලාවට යන්න පුළුවන් ඒ උනාට උන්වහන්සේ මාව අල්ලාගෙන සිටිනවා," යැයි ඔහු පැවසීය.

බ්ලොම් මහතා තම ජීවිතයේ වැඩි කලක් රැකියාවේ නිරතව සිටියේ කම්කරුවෙකු ලෙසයි. විශ්‍රාම යන විට ඔහු 80 වියේ පසුවිය. මීට වසර ගණනාවකට පෙර මත්පැන් පානය අත්හැරියද, ඔහු සාමාන්‍ය දුම් පානය කරන්නෙකු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top