Sep 03, 2020

මෝදි ගේ ට්විටර් ගිණුමක් හැක් කරලා!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික වෙබ් අඩවියේ ට්විටර් ගිණුම මෙන්ම එහි  ජංගම දුරකථන යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ට්විටර් සමාගම පවසා ඇත්තේ මෙම ගිණුම ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත්ය.

ක්‍රිප්ටෝ මුදල් වලින් අගමැති ආධාර ජාතික අරමුදලට සහය වන ලෙස ඉල්ලමින් මෙම ගිණුමෙන් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණි.

narendramodi_in ලෙස සඳහන් මෙම ගිණුම 2011 මැයි මාසයේ සිට ක්‍රියාත්මකව පැවති අතර, එතැන් පටන් ට්විටර් පණිවිඩ 37,000ක් නිකුත් කර ඇත. මෙම ගිණුමට අනුගාමිකයන් මිලියන 2.5ක් පමණ සිටියි.

කෙසේවෙතත්, ඉන්දීය අගමැතිවරයාගේ පෞද්ගලික ට්විටර් ගිණුම වන @narendramodi ගිණුමට මෙම සිද්ධියෙන් කිසිඳු බලපෑමක් සිදුවී නැති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. වැදගත් තොරතුරු සන්නිවේදනය කිරීමට අනුගාමිකයන් මිලියන 61කට වැඩි පිරිසක් සිටින මෙම ගිණුම මෝදි මහතා විසින් භාවිතා කරයි.

ජූලි මාසයේදී ඇමෙරිකාවේ ප්‍රධාන චරිත රැසකගේ ට්විටර් ගිණුම් වලටද මීට සමාන අයුරින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර, මෙවර ජනාධිපති අපේක්ෂක - ජෝ බයිඩන්, හිටපු ජනපති බැරැක් ඔබාමා, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ - බිල් ගේට්ස් හා ප්‍රකෝටිපති ඊලෝන් මස්ක් මෙම ගිණුම් හිමියන් අතර විය.

සබැඳි පුවත් :

ඇමෙරිකාවේ ප්‍රධාන ට්විටර් ගිණුම් වලට සයිබර් ප්‍රහාර

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top