Sep 19, 2020

හෙට සිට ඇමෙරිකාවේ WeChat, TikTok බාගතකිරීම තහනම්

WeChat සහ TikTok බාගත කිරීම ඇමෙරිකාව විසින් හෙට (20) සිට තහනම් කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

මෙම යෙදුම් දෙකට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයේ විධායක නියෝග ක්‍රියාත්මක වන බැවින් හෙට සිට WeChat සහ TikTok වෙත පිවිසීම සීමා කිරීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

දෙපාර්තමේන්තුව සිකුරාදා කියා සිටියේ ඇප් ස්ටෝර්වල WeChat හෝ TikTok බෙදාහැරීම හෝ නඩත්තුව සඳහා වන ඕනෑම පියවරක් තහනම් කරන බවය. අදහස් දැක්වීම සඳහා ඇපල් සහ ගූගල් වහාම ප්‍රතිචාර දක්වා නොමැත.

දැනටමත් යෙදුම් ඩවුන්ලෝඩ් කර ඇති පරිශීලකයන්ට මෘදුකාංගය දිගටම භාවිත කිරීමට හැකි විය නමුත්, සීමා කිරීම් මඟින් යෙදුම්වල යාවත්කාලීන කළ අනුවාදයන් ඩවුන්ලෝඩ් කළ නොහැක.

මෙහිදී WeChat ඉලක්ක කරගත් සීමාවන් වඩාත් පුළුල් අතර, නොවැම්බර් 12 වනවිට ටික්ටොක් සඳහා ද එය එසේම වන බව කියැවෙයි. TikTok හි මවු සමාගම වන බයිට් ඩාන්ස් සහ ඇමෙරිකානු ඔරකල් සම්බන්ධ යෝජනාවක් මේ වනවිට සමාලෝචනය වන අතර, එම ගනුදෙනුවක් සඳහා අවසාන දිනය නොවැම්බර් 12දා බැවින්, එහිදී එකඟතාවක් ඇති නොවූවහොත් TikTok සීමාවන්ද වඩාත් පුළුල් වනු ඇත.

එක්සත් ජනපදයේ තොරතුරු පිටතට ගලායන බව පවසමින් එහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා ට්‍රම්ප් මෙම යෙදුම් තහනම් කිරීමේ නියෝගයන්ට එලඹුණු අතර, මෙය එක්සත් ජනපදය හා චීනය අතර පවතින බල අරගලයක ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් චීනය මෙන්ම අදාළ මෘදුකාංග සමාගම්ද ඇමෙරිකාවේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top