Oct 14, 2020

චීනය, ඩිජිටල් මුදල් අත්හදාබලයි

සමාජීය මට්ටමින් තවත් අත්හදාබැලීමක් සිදුකරමින් චීනය ඩිජිටල් මුදල් සම්බන්ධයෙන් තවත් ඉදිරියට පියවරක් තබා ඇතැයි වාර්තා වේ.

මේ අනුව චීනයේ මහ බැංකුව විසින් දකුණුදිග චීනයේ ෂෙන්ජන් නගරයේ පුද්ගලයන් 50,000 දෙනෙකුට ලොතරැයි ක්‍රමයක් මගින් යුවාන් මිලියන 10 ක් වටිනා ඩිජිටල් මුදල් නිකුත් කර තිබේ.

චීන වැසියන් අතර ජනප්‍රිය හොංබාඕ හෙවත් 'රෙඩ් පැකට්' ආකාරයෙන් මෙම මුදල් ලබාදී ඇති අතර, ජයග්‍රාහකයෙකුට යුවාන් 200ක් පමණ හිමී වී ඇත. එම මුදල් වෙළඳසැල් 3,000 කට අධික ප්‍රමාණයකදී භාවිතා කළ හැකි වේ.

කෙසේවෙතත්, මෙම ලොතරැයි ක්‍රමයට මිලියන දෙකකට ආසන්න පිරිසක් එක්වී තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස ලබාදී ඇත්තේ චීනය විසින් මේ වන විට අත්හදා බලමින් සිටින Digital Currency Electronic Payment (DCEP) නම් ඩිජිටල් මුදල්ය. DCEP යනු බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) නොවන අතර, චීන යුවානයේම ඩිජිටල් ආකෘතියයි.

චීන ජාතිකයන් අතර මුදල් ගණුදෙනු වලදී මුදල් නෝට්ටු භාවිතා නොකරන කෑෂ්ලස් (Cashless) ගණුදෙනු මේ වන විටත් අතිජනප්‍රිය වේ. විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට චීනයේ මුදල් ගණුදෙනු 5ක් අතරින් 4ක්ම සිදුවන්නේ ටෙන්සන්ට් සමාගමේ 'වීචැට් පේ' (WeChat Pay) හෝ අලිබාබා සමාගමේ 'අලී පේ'(Ali Pay) තුළින් බවයි.

චීනයේ මහබැංකු දත්ත වලට අනුව, 2019 දී බැංකු විසින් ජංගම දුරකථන ඔස්සේ සිදුකළ මෙවැනි කෑෂ්ලස් ගණුදෙනු වල ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 49.27 ක් වන අතර, එය කලින් වසරට වඩා 25%ට වැඩි ප්‍රමාණයකින් වැඩිවීමකි.

'වීචැට් පේ' හා 'අලී පේ' සේවා වලදී තෙවැනි පාර්ශවයක් ලෙස එම සේවා ලබාදෙන එම සමාගම් එක්වී තිබුණද, DCEP නිකුත් කිරිම හා ක්‍රියාත්මක කිරීම ඍජුව සිදුකරනු ලබන්නේ චීනයේ මහ බැංකු ව විසිනි.

DCEP ක්‍රමවේදය මේ වසරේදී නිකුත් කිරීමට අදහස් කර සිටින බව චීනයේ මහබැංකුව පැවසුවද, ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නොමැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top