Dec 22, 2020

බයිඩ්න්ට ෆයිසර් කොරෝනා එන්නත විදියි 

අමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ෆයිසර් කොරෝනා එන්නතේ සිය පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අවස්ථාව ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කර ඇත.

”මම මෙම එන්නත ලබාගත්තේ, එන්නත ලබාගත හැකි වන විට එය ලබාගැනීමට ජනතාව සූදානම් විය යුතු බවපෙන්වීමටයි. බියවීමට කිසිවක් මෙහි නැහැ,” යැයි ඔහු මෙම අවස්ථාවේදී පැවසීය.

ඇමෙරිකාව තුළ එන්නත් වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට යම්කිසි ගෞරවයක් ලැබිය යුතු යැයි බයිඩ්න් සඳහන් කළේය.

උප ජනාධිපති මයික් පෙන්ස් මෙන්ම කථානායක නැන්සි පෙලෝසි ඇතුළු දේශපාලන නායකයින් විශාල සංඛ්‍යාවක් ද  මේ වනවිට එම එන්නත ලබාගෙන ඇත.  බයිඩ්න් ගේ බිරිඳ වන ජිල් බයිඩ්න් ද සිය පළමු මාත්‍රාව අද ලබාගෙන ඇති අතර, තේරී පත් වූ උප ජනාධිපති කමළා හැරිස් හා ඇගේ සැමියා , එළඹෙන සතියේදී මෙම එන්නත ලබා ගැනීමට නියමිතය.

මේ වන විටත් අමෙරිකානුවන් ලක්ෂ 5 කට පමණ මෙම එන්නත ලබා දී ඇතැයි ද, බයිඩ්න් පාලනකාධිකාරයේ පළමු දින 100 තුළදී එන්නත් මිලියන 100ක් ලබාදීමට අපේක්ෂිත බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමෙරිකාවේ මිලියන 18කට Covid-19 වැළඳී ඇති අතර, මේ දක්වා ඒ හේතුවෙන් එරට සිදුවී ඇති මරණ ගණන 319,000කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top