Jan 01, 2021

කොරෝනා අස්සේ ලෝවැසියන් 2021 පිළිගනී Featured

නව වසරේ උදාව ලොව රටවල් විසින් විවිධාකරයෙන් පිළිගෙන තිබුණද, ලොවපුරා කොරෝනාවෛරසය පැතිර යාම හේතුවෙන් මෙවර උත්සව හා සංදර්ශන සීමා වී තිබේ.

කොරෝනාවෛරසය නව ප්‍රභේදය පැතිර යාමේ ප්‍රවණතාවය හේතුවෙන් යුරෝපයේ පැවැත්වීමට යෙදී තිබූ සැමරුම් රැසක් මෙවර නොපැවැත්වුණු අතර, ප්‍රංශය විසින් රාත්‍රී කාලයේ ඇඳිරිනීතියද දමා තිබුණි. මීට අමතරව, රටපුරා ජනයා එක්රැස් වීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් 100,000ක් ද සේවයේ යොදවා තිබුණි.

එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් ද කොරෝනාවෛරසය දරුණුවට පැතිර ගිය ප්‍රදේශ වල ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිය නිවෙස් වල රැඳී සිටින ලෙසයි. සාමාන්‍යයෙන් ලන්ඩනයේ ලන්ඩන් අයි ඉදිරිපිට පැවැත්වෙන අතිවිශාල සැමරුම් වෙනුවට ලන්ඩන් නුවර විවිධ ස්ථාන වල මල්වෙඩි සංදර්ශන හා අලෝක සංදර්ශන පැවැත්වුණු බව විදෙස් වාර්තා වල දැක්වේ.

ජර්මනිය ජනවාරි 10දා තෙක් ලොක්ඩවුන් කර ඇති අතර, අයර්ලන්තයේදී ආරක්ෂක ක්‍රමවේද තවදුරටත් තර කර තිබේ.  නෙදර්ලන්තය හා තුර්කිය ද ලොක්ඩවුන් කර ඇත.

මීට අමතරව ඉතාලියේ ද ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ අතර, ඇමෙරිකාවේ විවිධ නගර වල පැවැත්වෙන සාමාන්‍ය සැමරුම් මෙවර නොපැවැත්වීමට හෝ සීමාවන් සහිතව පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණද, එම දසුන් නැරඹීමට සිරිත් පරිදි සිඩ්නි වරායට රැස්වීමට ජනකායන් වලට අවසර ලබාදී තිබුණේ නැත.

කෙසේවෙතත්, නවසීලන්තයේ නව වසර සැමරුම් සුපුරුදු පරිදි පැවැත්වුණි.

චීනයේ බීජිං අගනුවර වාර්ෂිකව පැවැත්වෙන ආලෝක සංදර්ශනය අත්හිටුවා තිබුණ නමුත්, කොරෝනාවෛරසය මුලින්ම වාර්තාවූ වූහාන් නගරයේ නව වසර උදාවීම සැමරීමට දහස්ගණනක් වීදි වල රැස්ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

ජපානය විසින් සුපුරුදු නව අවුරුදු සැමරුම් සිරිත්විරිත් මේ වසරේ නොපැවැත්වූ අතර, ඉන්දියාවේ නවදිල්ලි හා නගර රැසක රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පනවා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top