Jan 04, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයට

එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් ලොව පළමු රට බවට පත්වෙමින් අද (04දා) සිට එරට තුළ එන්නත්කරණ වැඩසටහන අරඹන බව පවසයි.

එරට ජාතික සෞඛ්‍ය සේවය පවසා සිටියේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන වේගයෙන් අප වෙත එලැඹ ඇති බවය.

මෙම එන්නත් මුලින් නිරීක්ෂණ මට්ටමේ එන්නත්කරණ කටයුතු සඳහා පළමු දින කිහිපය සඳහා රෝහල් කුඩා ප්‍රමාණයකට ලබාදෙනු ඇත.

දැනටමත් ක්‍රියාත්මක වන එන්නත් ස්ථාන 700කට අමතරව තවත් රෝහල් 100ක් සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 180ක්ද මේ සතියේදී මෙම වැඩසටහන වෙනුවෙන් අපේක්ෂා කෙරේ.

වර්තමාන සහ හිටපු ජාතික සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් දස දහස් ගණනක් එන්නත්කරණ වැඩසටහන සඳහා පුහුණු කරනු ලැබේ.

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top