Jan 07, 2021

කොංග්‍රසය, බයිඩ්න් ගේ ජය සනාථ කරයි

වසර 2020 ජනාධිපතිවරණයේ ජය ජෝ බයිඩ්න් හට හිමි වූ බවට ඇමෙරිකානු කොංග්‍රසය සනාථ කර තිබේ.

මෙම සභා වාරයට බාධා පමුණුවමින් ඊට පැය කිහිපයකට පෙර ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හට පක්ෂපාතී විරෝධතාකරුවන් වොෂින්ටන් DC හි පිහිටි කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී තිබුණි.

මෙම සිද්ධියෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු මියගොස් ඇතිබවත් තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

සේවෙතත්, ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මෙම සභාවාරය ඊයේ සවස් යාමයේදී යළි ආරම්භ කර තිබුණි.

කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුනු විරෝධතාකරුවන්ට මුලින් ට්‍රම්ප් අනුබල ලබාදී තිබුණද ඔහු පසුව ඉල්ලා තිබුණේ සිය නිවෙස් වලට යන ලෙසයි. කෙසේවෙතත්, පැය තුනක කාලයක් පුරාවට ඔවුන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ  කලහකාරී ලෙස හැසිරුනු අතර, ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.

මෙම සිදුවීම මීළඟ ජනපතිවරයා ලෙස පත් වූ ජෝ බයිඩ්න් හා ඇමෙරිකානු කොංග්‍රස් සභිකයන් විසින් පමණක් නොව ලෝක නායකයන් විසින් ද හෙළාදැක තිබේ.

මේ අතර, පළමු වරට ට්‍රම්ප් ගේ නිල ගිණුම පැය 12කට ලොක් කිරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබුණි. ට්‍රම්ප් විසින් මුදාහැරි "ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින" පණිවිඩ තුනක් ඉවත්කරගන්නා මෙන් ඉල්ලා ඇති ට්විටර් සමාගම, එම ගිණුම සදාකාලිකව තහනම් විය හැකි බවටද  අනතුරු අඟවා ඇත. ෆේස්බුක් හා ට්විටර් සමාගම් ද මීට සමාන පියවර ගෙන තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top