Jan 09, 2021

යුක්‍රේනය, බ්‍රිස්බේන් ලොක්ඩවුන්

කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුක්‍රේනය ඊයේ (08) සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර ඇත.

යුක්‍රේනයේ කොරෝනාවෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට යළි ඉහළ ගිය අතර තවදුරටත් එය ඉහළ මට්ටමක පවතින බවත්, ඊයේ වන විට සමස්ත රෝගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් හමුවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දෙසැම්බර් මාසය මුලදී යුක්‍රේනයෙන් දිනකට රෝගීන් 12,000 - 14,000ක් අතර හමුවීමත් සමග ජනවාරි මාසයේදී ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, සීමා ලිහිල් කිරීමට හෝ එය අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුව ද යුක්‍රේන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉතා කඩිනමින් නව සීමා කිරීම් පැනවිය යුතු බවයි.

නව සීමා කිරීම් හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතයින් වාර්තාවීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේවෙතත්, ඊයේ දිනයේදීද ශ්‍රී ලංකාවට යුක්‍රේන සංචාරක පිරිසක් පැමිණ තිබුණි.

බ්‍රිස්බේන් නුවරත් දින 3කට ලොක්ඩවුන්

මේ අතර, සිය හෝටල් නිරෝධායන ක්‍රමවේදය තුළ පිරිසිදුකරන කාන්තාවක් හට කොවිඩ්-19 ආසාදනය වීමත් සමග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරය දින 3කට ලොක්ඩවුන් කිරීමට වහාම නියෝග කර තිබේ.

මෙම කාන්තාවට වැළඳී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදය බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

වර්තමානයේදී 3ක් ලොක්ඩවුන් කිරීම මගින් ඉදිරියේදී දින 30ක් ලොක්ඩවුන් කිරීම වළක්වාගත හැකි වේ යැයි ප්‍රාන්ත අගමැතිනිය පවසා තිබේ.

තවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, නව සීමා කිරීම් හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතයින් වාර්තාවීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි.

යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top