වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස දී ඔහු දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව ජනාධිපතිවරයා, සියලු අභියෝග මැද ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කළ බව කියා සිටියේය.
"අද ඇමෙරිකාවේ දිනය. අද ප්රජාතන්ත්රවාදයේ දිනය," ඔහු පැවසීය.
ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේ, අදහස්, දේශපාලනය සහ මතවාද අතර කෙතරම් විෂමතා පැවතිය ද ඇමෙරිකානුවන් වශයෙන් තමන්ට එකමුතුව කටයුතු කළ හැකි බවය.
"මම හැම ඇමෙරිකානු වැසියෙකුගේම ජනපති වෙනවා, හැම ඇමෙරිකානු වැසියෙකුගෙම," ඔහු ප්‍රතිඥා දුන්නේය.
කෝවිඩ්19 වසංගතයෙන් මියගිය ලක්ෂ හතරකට අධික එක්සත් ජනපද වැසියන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවක් පළ කළ නව ජනපතිවරයා ජාතික සමගියේ වැදගත්කම දිගින් දිගටම අවධාරණය කළේය.
ජනාධිපතිවරයා දිවුරුම් දීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා දේවී හැරිස් දිවුරුම් දුන්නාය.
ඉන්දීය සහ කැරිබියානු සම්භවයකින් යුත් ඇය, එක්සත් ජනපදයේ උප ජනපති පදවියට පත්වූ පළමු සුළු ජාතිකයායි.
රට පුරා රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිවුරුම් දීම් උත්සවය සජීව ලෙසින් විකාශය කෙරිණ.
ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ කමිටුව ද සිය ට්විටර් ජාලය ඔස්සේ එය විකාශය කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගි වී නව ජනාධිපතිවරයාට සුබ පැතීය.
බරක් ඔබාමා, ජෝජ් ඩබ් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන හිටපු ජනාධිපතිවරු ද, ඔවුන්ගේ ආර්යාවන් ද උත්සවයට එක්ව සිටියහ.
නව ජනාධිපතිවරයා පදවියේ දිවුරුම් දීමට ප්‍රථම ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළ අතර, ජෙනිෆර් ලෝපෙස් උත්සව සභාව පිනවූවාය. තවත් බොහෝ කලාකරුවෝ ද ආරාධිතයන් අතර සිටියහ.
(මූලාශ්‍රය : බීබීසී සංදේශය)