Apr 01, 2021

චීන කොවිඩ් එන්නත් 2ක කාර්යක්ෂමතාව පෙන්නුම් කරයි - WHO Featured

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් දෙකක් වන සිනෝෆාම් හා සිනෝවැක් නම් එන්නත් වල නිෂ්පාදකයන් විසින් එම එන්නත් වල දත්ත ඉදිරිපත් කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය වන කාර්යක්ෂමතා මට්ටම් පෙන්නුම් කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලයක සභාපතිවරයා ඊයේ (31) දා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික උපදේශක විද්වත් කණ්ඩායමේ (SAGE) සභාපතිවරයා වන ඇලෙහැන්ද්‍රෝ ක්‍රැවියෝටෝ මහතා ජිනීවා හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසීය.

පසුගිය සතියේදී පැවති SAGE රැස්වීමකදී මෙම සමාගම් විසින් ලබාදුන් දත්ත මගින් පැහැදිලිව දිස්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අවශ්‍යතාවන්ට අනුකූල වන කාර්යක්ෂමතා මට්ටම් ඔවුන් සතුව ඇති බව, යැයි ඔහු පැවසීය.

මෙම එන්නත මිනිසුන් මත භාවිතා කරන විට ඔවුන්ට කිසිඳු හානියක් සිදුනොවන බව පෙන්වීමට අවශ්‍ය සියලු ආරක්ෂණ දත්ත මෙම සමාගම් සතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, SAGE විද්වතුන් විසින් මෙම එන්නත් නිර්දේශ කිරීමට පෙර, එය භාවිතයට සුදුසු බවට සඳහන් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය (emergency use listing) ලැබිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, මාර්තු මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක් වන මාග්‍රට් හැරිස් පවසා තිබුණේ සිනෝෆාම් හා සිනෝවැක් එන්නත් සඳහා මෙම අනුමැතිය ඉක්මනින් හිමිවනු ඇති බවයි.

සිනොෆාම් එන්නත සම්බන්ධ සවිස්තරාත්මක දත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර නැති නමුත් එහි නිෂ්පාදක ආයතනය පවසන්නේ අතුරු දත්ත අනුව එහි ඵලදායිතාවය 79.34% ක් බවයි. මෙම එන්නත චීනය, පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක් විසින් අනුමත කර ඇත.

මේ අතර, සිනොවැක් එන්නත බ්‍රසීලය, තුර්කිය සහ ඉන්දුනීසියාව යන රටවල අත්හදා බැලීම් මත පදනම්ව 50.65% - 83.5% ත් අතර විවිධාකාර ඵලදායි මට්ටම් පෙන්නුම් කර ඇත.

බටහිර රටවල ප්‍රතිවාදී ඖෂධ සමාගම් වලින් නිපදවූ කොවිඩ් එන්නත් සැපයුම සීමා වූ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ, මෙම චීන එන්නත් සඳහා ඉහළ ඉල්ලුමක් දැකිය හැක.

(මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top