Apr 02, 2021

යුරෝපා කොවිඩ් එන්නත්කරණ වේගය ගැන WHO අසතුටෙන්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යුරෝපයේ කොරෝනා වයිරස් එන්නත්කරණ වැඩපිළිවෙල “පිළිගත නොහැකි ලෙස මන්දගාමී” යැයි විවේචනය කර තිබේ.
 
පසුගිය මාස කිහිපයේ පැවති තත්ත්වයට වඩා පවතින තත්ත්වය කනස්සලුදායක බව එම සංවිධානය සඳහන් කරයි. 
 
යුරෝපයේ බොහෝ ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන් වන ප්‍රමාදයන් දක්නට ලැබෙන අතර, කොවිඩ්  ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
 
මේ තත්ත්වය හමුවේ විවිධ රටවල් යළිත් ලොක්ඩවුන් කර ඇති අතර, එවැනි පියවර ගත් අලුත්ම රට වන්නේ ප්‍රංශයයි. ඒ, සති 4ක ලොක්ඩවුන් කිරීමක් ප්‍රකාශයට පත්කරමිනි.
 
"මෙම වසංගතයෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය එන්නත් කිරීමයි... කෙසේ වෙතත්, මෙම එන්නත්කරණ වැඩසටහන් වල ක්‍රියාකාරීත්වය පිළිගත නොහැකි ලෙස මන්දගාමයි," යුරෝපා කලාපය සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ හාන්ස් ක්ලූජ් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
 
"නිෂ්පාදනය වේගවත් කිරීම, එන්නත් ලබා දීමට ඇති බාධක අවම කිරීම සහ අප සතුව ඇති සෑම එන්නත් කුප්පියක්ම භාවිතා කිරීම මගින් අපි ක්‍රියාවලිය වේගවත් කළ යුතුයි," යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
 
එන්නත්කරණ ආවරණය අඩු මට්ටමක පවතින තාක් කල්, සිදුවන ප්‍රමාදයට වන්දි ලෙස ලොක්ඩවුන් කිරීමට හා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top