May 01, 2021

ඉන්දුනීසියාව, බංග්ලාදේශය සිනෝෆාම් එන්නතට අනුමැතිය දෙයි

චීනයේ සිනෝෆාම් COVID-19 එන්නත හදිසි ලෙස භාවිතා කිරීමට බංග්ලාදේශයේ ඖෂධ නියාමක ආයතනය අවසර දී ඇත.

එහි පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහ්බුබර් රහ්මාන් බ්‍රහස්පතින්දා දින ඩකා අගනුවර පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
 
සතියක්, සති 1.5 ක් ඇතුළත බංග්ලාදේශයට සිනෝෆාම් එන්නත ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පවසා ඇත.
 
මේ අතර, ඉන්දුනීසියාවේ ඖෂධ නියාමක ආයතනයද මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දී ඇත.
 
සිනොවැක් හා ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් වලින් පසුව ඉන්දුනීසියාවේ අනුමැතිය ලද තෙවැනි කොවිඩ් එන්නත මෙයයි.
WHO තීන්දුව ළඟදීම
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා සිනෝෆාම් එන්නත්, හදිසි අවස්ථා සඳහා අනුමැතිය ලද එන්නත් ලෙස ලැයිස්තුගත කිරීමේ ක්‍රියාපටිපාටිය සඳහා ඇගයීමට ලක්කිරීම මේ සතිය හා ලබන සතිය තුළ සිදුකිරීමට නියමිතය.
 
පසුගිය සඳුදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ WHO සහකාර අධ්‍යක්ෂ ජනරාල් මාරිඇන්ගෙලා බැටිස්ටා ගැල්වාවෝ සිමාවෝ මේ බව පවසා තිබේ. 
 
මේ සතිය අවසන් වන විට සිනෝෆාම් එන්නත සඳහා තීන්දුවක් බලාපොරොත්තු වන බවත්, මැයි 05දා ඇගයීමට ලක් කරන සිනෝවැක් එන්නත සඳහා තීන්දුවක් ලබන සතිය අවසන් වන විට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.
 
සිනොවැක් හා සිනෝෆාම් එන්නත් සඳහා එම අනුමැතිය හිමිවුවහොත්, බටහිර රටකින් නිෂ්පාදනය නොවූ එන්නතක් සඳහා WHO අනුමැතිය හිමිවන පළමු අවස්ථාව මෙය බව රොයිටර් පුවත් ඒජන්සිය පෙන්වා දෙයි.
 
WHO අනුමැතිය ලැබෙන තෙක්...
මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා ජනවාරි 12දා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා වෙත සිය අක්තපත්‍රවල පිටපතක් ඉදිරිපත් කළ අතර, ඒ සමග චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ද මෙහිදී ලබාදෙනු ලැබුණි.
 
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව චීනය විසින් සිනෝෆාම් COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 06ක ප්‍රදානයක් සිදුකළ අතර, එම තොගය මෙරටට පැමිණියේ මාර්තු 31දාය. 
 
කෙසේවෙතත්, සිනෝෆාම් එන්නතට මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී නැති බැවින් එය මෙතෙක් ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයන් හට පමණි.
 
මේ අතර, පසුගිය 23දා කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ චීන එන්නතට උපරිම වශයෙන් සති 02 ක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

"ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට පවසා ඇත්තේ ඒ සඳහා අනුමැතිය මැයි මුල් සතියේ ලැබෙනු ඇති බවයි... ඒ අනුව, අප ජනගහනයට ලබාදිය හැකි එන්නත් මාත්‍රා 590,000ක් පමණ අපට එතැන තිබෙනවා," යැයි ඔහු මෙහිදී පැවසීය.

අප්‍රේල් මාසයේ උදා වූ සිංහල හා හින්දු අවුරුදු සමයෙන් පසුව, මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාගත ලෙස වැඩිවී තිබෙන අතර, මේ දක්වා ලබාදී ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදීම පසුගිය 28දා ආරම්භ කිරීමට රජය විසින් කටයුතු යොදා තිබුණි. 
 
කෙසේවෙතත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග ඉන්දියාවෙන් ලැබීමේ ප්‍රමාද හේතුවෙන් මේ වන විට ගැටළුකාරී මට්ටමක් ඇති වී තිබෙන බවද වාර්තා වේ.
 
ජූලි වෙනකන් 'වැක්සීන් මෛත්‍රී' නැවතෙයිද?
මේ අතර, සිය අසල්වාසී රටවල් සඳහා කොවිඩ් එන්නත් ලබාදෙන 'වැක්සීන් මෛත්‍රී' වැඩසටහන ජූලි මාසය තෙක්වත් යළි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවට ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කරයි.
 
ඒ, ඉන්දියාවේ අදින් (01) ආරම්භ වන විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙළ හා සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින කොවිඩ් රෝගීන් හමුවේ එන්නත් ලබාගැනීමේ අර්බුදය හේතුවෙන් බව එහි දැක්වේ.

අප්‍රේල් මාසය මුල සිට වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් හා මරණ ඇතිවීමට පටන් ගැනීමත් සමග වාණිජ හා ප්‍රදාන පදනම්  මත වෙනත් රටවලට කොවිඩ් එන්නත් යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාවට සිදුවිය. මේ අතර, වෙනත් රටවල් වලින් මුදල් ගෙවා ඇති එන්නත් තොගද පවතියි.

එන්නත් සැපයුම් යථා තත්ත්වයට පත්වන දිනක් පිළිබඳව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා පවසා නැති බව එම පුවත්පත වැඩිදුරටත් කියා සිටියි.
 
සබැඳි පුවත් :
 
 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top