May 02, 2021

ඉන්දියාවෙන් මව්රටට යන ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට සිරදඬුවම්!

ඕස්ට්‍රේලියානු ජාතිකයන් හට ඉන්දියාවේ සිට යළි සිය මව්රට බලා යාම,  සිරදඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ.

ඕස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත දිනය දක්වා දින 14 ක් ඇතුළත ඉන්දියාවේ සිටි ඕනෑම කෙනෙකුට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම තහනම් වනු ඇති අතර, මෙම නව නීතිය හෙට (සඳුදා) සිට ක්‍රියාත්මක කෙරේ.

එම නීති උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට වසර 5ක සිරදඬුවමක් හෝ / හා ඕස්ට්‍රේලියානු ඩොලර් 66,000ක දඩයක් නියම වනු ඇත.

ඉන්දියාවේදී කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් නිරෝධායනයේ පසුවන පිරිස් වල ප්‍රමාණය අනුව මෙම තීරණය ගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වනවිට ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් 9,000ක් පමණ සිටින අතර ඉන් 600ක් වඩාත් අවදානමට ලක්විය හැකි ඛාණ්ඩයට අයත් වන බව පැවසේ.

ඉන්දියාවේ පවතින භයානක කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාව විසින් පසුගිය දින වලදී ඉන්දියාවෙන් පැමිණෙන සියළුම ගුවන්ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබුණි.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු යළිත් සිය රටට පැමිණීම අපරාධයක් ලෙස සැලකෙන පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය සඳහන් කර සිටියි.

 
(මූලාශ්‍රය : බීබීසී)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top