May 05, 2021

පාවිච්චි කරපු පරීක්ෂණ කට්ටල වලින් ඇන්ටිජන් පරික්ෂා කරලා අහුවෙයි!

කලින් පාවිච්චි කරන ලද, නාසයට දමා සිදුකරන කොවිඩ් ස්වොබ් පරීක්ෂණ කට්ටල සෝදා යළි අලෙවි කිරීම සමබන්ධයෙන් ඉන්දුනීසියානු රාජ්‍ය ඖෂධ සමාගමක සේවකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
එරට පොලිසිය පවසන්නේ මෙම ජාවාරම, උතුරු සුමාත්‍රාවේ මේඩන් නගරයේ ක්වාලානාමු ගුවන්තොටුපල තුළ පසුගිය දෙසැම්බරයේදී සිට සිදුවී ඇති බවත්, එම ගුවන්තොටුපල හරහා ගමන් කළ මගීන් 9,000ක් දක්වා පිරිසක් මෙම පරීක්ෂණ කට්ටල යොදාගෙන පරීක්ෂණ සිදුකර ඇති බවයි.

මේ අනුව Kimia Farma නම් මෙම සමාගමට එරෙහිව නඩුවක් ද ගොණු කර තිබේ.

මගීන්ට පියාසර කිරීමට අවශ්‍ය නම් ඍණාත්මක පරීක්ෂණ ප්‍රථිපලයක් තිබිය යුතු අතර, මෙම පරීක්ෂණ ගුවන්තොටුපල පරිශ්‍රය තුළ සිදුකිරීමට පහසුකම් සලසා දී තිබුණි. ගුවන්තොටුපල බලධාරීන් විසින් මේ සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලබාගෙන ඇත්තේ Kimia Farma සමාගමෙනි.

ව්‍යාජ ලෙස ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනු බවට මගීන්ගෙන් ලැබුණු පැමිණිලි හමුවේ පොලිසිය විසින් පසුගිය සතියේදී මගියෙකු ලෙස පෙනීසිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට යවා ඇති අතර, ඔහුගේ පරීක්ෂණයද ධනාත්මක බවට ප්‍රකාශ කිරීමතත් සමග පොලිස් ඛණ්ඩයක් විසින් මෙම ස්ථානය වටලා ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ, පාවිච්චි කරන ලද පරීක්ෂණ කට්ටලයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබේ.

(BBC News)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top