ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි කරඬුව තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරයට අයත් අභිනව තෙමහල් ධාතු මන්දිරයයි.
මේ ධාතු මන්දිරය විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද එකක් වන අතර උන්වහන්සේ වැඩ වසන විහාස්ථානය ද මෙය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
පෙරේදා (07) රාත්‍රියේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළුව ඇති බව පොලිසිය කියා සිටියි.
තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බව හෙළිවී ඇත.
කරඬු වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.
එම ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කරගෙන ගොස් ඇත.
සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද මේ අතර වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ