දකුණු පළාතේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චීනය විසින් ඉල්ලීමක් සිදුකර නැතැයි විදේශ කටයුතු අමාත්‍ය – අලී සබ්‍රි මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ TV දෙරණ විසින් විකාශය කළ 360° වැඩසටහනේදී මෙවැනි අවසරයක් චීනයට ලබාදී ඇතිදැයි නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.
“විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මං හොයලා බැලුවා එහෙම ඉල්ලීමක් කරලත් නෑ. ඒ හින්දා අපි එහෙම එකක් ලබාදීලා නෑ කියන එක තමයි මට මේ වෙලාවෙදි කියන්න තියෙන්නෙ,” යැයි ඔහු පැවසීය.
කෙසේවෙතත්, පසුගියදා විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.
මෙම රේඩාර් කඳවුර මඟින් චීනයට දකුණු ඉන්දියාවේ ඉන්දියාවේ උපාය මාර්ගික වත්කම්, ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි බව ඉන්දියාවේ ‘ඉකොනොමික් ටයිම්ස්’ විසින් පළ කළ පුවත් වාර්තාවේ දැක්වුණි.
ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන ලෙස සැළකෙන කූඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර සහ එම මධ්‍යස්ථානවලට ඉන්ධන සැපයීමද මෙම කඳවුරේ ස්ථාපනය කෙරෙන රේඩාර් පද්ධති මගින් චීනයට නිරීක්ෂණය කළ හැකි බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.