Connect with us

පුවත්

ඇමරිකානු මූල්‍ය සමාගමක ගිනුම් 8ක් තහනම් කරන්න උසාවි නියෝගයක්

Published

on

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළ අන්දමට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මුල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේ දී හෙළිවූ අතර, ඒ අනුව එම ගිණුම් අටේ ගනුදෙනු ඊයේ (19) සිට මාස හයක කාලයක් අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

ඒ අනුව මෙලෙස අත්හිටුවූ ගිණුම් අට වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස්  පී.ටී.වයි.එල්.ටී.ඩී. සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.

මෙම ගිණුම් හිමි අය අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළත් වන අතර, එම පුද්ගලයන් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් ඉකුත්දා නිකුත් කෙරිණි.

මෙම ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා එම පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකතන, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදා ගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මුල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57ක් ද අත්හිටුවීමට ඉකුත් 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු කරමින් අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallent) ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් (14719) ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් (31223) අනුරාධ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

(ලංකාදීප)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved