Connect with us

පුවත්

පවුල් 449,979ක සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතුයි – කෝපා

Published

on

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බවත් ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු පවුල් වුවද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් කෝපා කම්ටුවේදී අනාවරණය විය.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි කරන ලද  සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හදුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බව මෙහිදී සඳහන් විය. 
එසේම මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

මේ පිළිබඳ අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ  සභාපතිත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එසේම ප්‍රජාමූල බැංකු වෙත මාසිකව ප්‍රේෂණය කරනු ලබන සමෘද්ධිලාභී ප්‍රතිලාභ මුදල ඇතැම් සමෘද්ධිලාභීන් විසින් මාසිකව ලබා නොගෙන දීර්ඝ කාලීනව තම බැංකු ගිණුම් වල රඳවා තිබුණු බවත් නියැදි පරීක්ෂණයන්ට අනුව ප්‍රජාමූල බැංකු 10ක වසම් 41 ක් තුළ සමෘද්ධිලාභීන් 2433 කගේ ඉතිරිකිරීමේ ගිණුම් වල එසේ රඳවා තිබූ මුදල රු. 59,951,537 ක් බවත් මෙහිදී අනාවරණය විය.

තවද සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම පිළිබඳව  නිවැරදි වැඩපිළිවෙළක් නොමැති බව නිරීක්ෂණය වන බවද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

එසේම සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී එහි සිටි සේවක සංඛ්‍යාව අන්තර්ගහනය කිරීම පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, නිවැරදිව දත්ත  ඉදිරිපත් නොවූයෙන් එළඹෙන මැයි මස 26 වැනිදා මෙම දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට නැවත කැඳවීමට නිර්දේශ කළ අතර එදින මේ පිළිබඳ සියලු නිවැරදි තොරතුරු අවශ්‍ය වන බවද සභාපතිවරයා පැවසීය.

එසේම ලෝක බැංකු අධාර යටතේ 2022 වර්ෂයේ ලැබුණු මූල්‍ය සහනාධාර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වුණු අතර එළඹෙන ජූලි මස සිට සිදුකිරීමට සැලසුම්කොට ඇති යාවත්කාලීන කිරීම් අනුව මෙම දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් පිළිබඳව ද විමසීම මෙහිදී සිදුවිය. මෙහිදී ඉදිරි සැලසුම් පිළිබඳව සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් නොවුණු අතර එළඹෙන මැයි මස 26 වැනිදා මෙම කාරක සභාව හමුවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පැමිණෙන විට ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත්කරන ලෙසද කෝපා කමිටුව නිර්දේශ කළේය.

මෙම කාරකසභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඉසුරු දොඩන්ගොඩ, (ආචාර්ය) හරිනි අමරසූරිය, මුදිතා ප්‍රිශාන්ති, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, (ආචාර්ය) සරත් වීරසේකර, මංජුලා දිසානායක, විමලවීර දිසානායක, වීරසුමන වීරසිංහ,  ඩී. වීරසිංහ, අශෝක් අබේසිංහ, සහ ඒ. එල්. එම් අතාවුල්ලා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved