ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පිටත් වූ ගුවන් යානා කිහිපයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය කරුණු දක්වා තිබේ.
එම සමාගම විසින් නිකුත් කළ නිවේදනයන දැක්වෙන්නේ කටුනායක ප්‍රදේශයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 605 යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට සිදුවූ බවයි.
මෙම යානයේ දරුවන් තිදෙනෙකු ඇතුළු මගීන් 297 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 15ක් සිටි බවත්, ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දීමටත්, වෙනත් රටවලට යාමට පැමිණි මගීන්ට ගුවන් යානය නැවත කටුනායක බලා පිටත්ව යන තෙක් මත්තල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසාදුන් බවත් ශ්‍රී ලන්කන් සමාගම පවසයි.
මගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීම හේතුවෙන් මගීන්ට ඇතිවූ අපහසුතාව පිළිබඳ සිය සමාගම කනගාටුව පළකරන බවත් වෙනත් රටවල් බලා පිටත්වීමට නියමිත ගුවන් මගීන්ට එම පහසුකම් සැලසීම සඳහා සෑම පියවරක්ම ගත් බවත් එම් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.