ඔස්ට්‍රේලියානු රජය විසින් ඒරට රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයතව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
බීච්ක්‍රාෆ්ට් KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.
මෙම ත්‍යාගය ශ්‍රි ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බව එම ලිපියෙහි සඳහන්ව ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
ඒසේම, එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ දී දෙරට අතර සමීප සහයෝගිතාව තහවුරු කරන්නක් බවත්, මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන මිනිස් ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය සඳහා ද මෙමගින් පුළුල් දායකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇති බව පැවැසේ.
අදාළ ගුවන් මෙහෙයුම් පිළිබඳ ඕස්ට්‍රේලියානු රජය මාස 12 ක කාලයක් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇති අතර ඉන් අනතුරුව එහි වගකීම ශ්‍රී ලංකා රජය සතු වේ.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, පළමු ලේකම් බ්‍රෙට් සෙහන්ඩර් මහතා සහ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී ඇත.