රට පුරා ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීම සඳහා එ.ජ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ලබාදීම අද (17) දින පානදුර මූලික රෝහලේදී සිදු වූ අතර ජුලී චංග් තානාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවීමෙන් පසුව ඒ සඳහා සහභාගි වූවාය.
රට පුරා රෝහල් සහ සායනවල සේවාවන්ට උපකාරී වනු ඇති මේ උපකරණ අතරට ඊසීජී යන්ත්‍ර, මල්ටිපැරා මොනිටර්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක්, ස්පයිනල් බෝර්ඩ්, ඉන්ෆියුශන් පොම්ප සහ ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු තවත් වෛද්‍ය උපකරණ ඇතුළත් ය.
රෝහලේදී චංග් තානාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහ මෙම උපකරණවලින් ප්‍රතිලාභ ලබන වාට්ටුවල සිටින වෛද්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්යමණ්ඩලය හමු වූවාය.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිනිය මෙසේ අදහස් දැක්වූවාය :
“එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම හරහා පෙන්නුම් කෙරෙන්නේ අභියෝගාත්මක කාලයකට මුහුණ දෙන අපේ මිතුරා සහ හවුල්කරු වන ශ්‍රී ලංකාව කෙරෙහි අපේ ඇති සහයෝගයයි. මේ භාණ්ඩ, එනම්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක් නොමැති රෝහලකට ලබාදෙන එම යන්ත්‍රය, තවත් රෝහලක මාරු කළයුතුව තිබෙන රුධිර පීඩන යන්ත්‍ර සඳහා අළුත් ඒවා ලබාදීම හරහා, රටපුරා සිටින වීරයින් වන වෛද්‍ය සේවා සපයන්නන්ට ශ්‍රී ලාංකිකයින් වෙත තවතවත් ජීවිත බේරාගන්නා වෛද්‍ය සේවා සැපයීමට හැකියාව ලබාදෙනු ඇති.”