Connect with us

ඡායාරූප සටහන

75 වසරක ඇමෙරිකානු – ශ්‍රී ලංකා සබඳතා සැමරේ! (ඡායා)

Published

on

ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ජූනි 22 වැනි දා කොළඹ දී උත්සවයක් පැවැත්වූවාය. 

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ප්‍රධාන අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි වූයේය.

1776 ජූලි මස 4 වැනි දින ඇමෙරිකාවේ ආරම්භක පියවරුන් පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයට එක් රැස් වී නිදහසේ ප්‍රකාශය අත්සන් තැබීම, ලොව වටා ඇමෙරිකානුවන් නිදහස් දිනය ලෙස සමරනු ලැබේ. මේ ප්‍රකාශයත් සමගින් ඇමෙරිකාව ජීවිතය, නිදහස, සන්තුෂ්ටිය සොයා යෑම, සහ පාලිතයින්ගේ එකඟතාවයෙන් පවරන පාලන බලතල යනාදිය ඇතුළත් යම් යම් වෙන්කළ නොහැකි අයිතිවාසිකම් පදනම් කරගත් ස්වයං-පාලනයක් සඳහා මූලික පියවර තබන ලදී.

“නිදහස, ස්වාධීනතාවය සහ සන්තුෂ්ටිය සොයා යෑම හරහා රටක් සංවර්ධනය කරන ගතිකත්වය සහ ව්‍යවසායකත්වය ද එය ආරක්ෂා කරදෙන දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ද පැන නගින බව අපි තදින් ම විශ්වාස කරනවා. එය එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් සම්බන්ධයෙන් සැබෑවක් වනවා,” යනුවෙන් එම අවස්ථාවේ දී චංග් තානාපතිතුමිය පැවසුවාය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ පැරණිතම හවුල්කරුවකු බව අවධානයට යොමු කරමින් චංග් තානාපතිතුමිය දෙරටට එක්ව සාර්ථක විය හැකි බව අනොන්‍ය වටිනාකම් සහ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම හරහා පෙන්නුම් කර ඇතිබැව් අවධාරණය කළාය. “ඇමෙරිකාවේ නිදහස් දිනය සහ අප දෙරට අතරේ රාජතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේ අප ඇත්තෙන්ම මේ සමරන්නේ සියළුම පුරවැසියන් සහ ශ්‍රී ලංකා රජය සමගින්   ඇති අද්විතීය හවුල්කාරීත්වයයි. ඇමෙරිකානුවන් ලෙස අපට අපගේ ආරම්භක පියවරුන් පැහැදිලිව පෙන්වා දුන් මගක් තිබෙන අතර අදටත් ඇමෙරිකානුවන් ඒ මාර්ගයේ ගමන් කරනවා-වඩාත් පරිපූර්ණ එක්සත්භාවයක් ඇතිකරගැනීම සඳහා  අප අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරනවා, එයට අනුකූලතාවය දක්වනවා. ශ්‍රී ලංකාව සමගින් එක්සත් ජනපදයේ ඇති හවුල්කාරීත්වයේ අරමුණු ඊට වඩා නොගැඹුරු වන්නේ නැහැ.”

මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් මෙසේද පවසා තිබුණි :

ඇමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයින් යන දෙපිරිසටම එක සේ ඵලප්‍රයෝජන සලසන්නා වූ රජයෙන්-රජයට සහ ජනතාවගෙන්-ජනතාවට ඇති සම්බන්ධතා තුළ අප අතර ඇති හවුල්කාරීත්වය දළු ලා වර්ධනය වේ. 1956 සිට USAID විසින් පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මානව හිමිකම් සහ පාලනය, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම, සහ පරිසරය ඇතුළු විවිධ අංශ ඔස්සේ ඇ. ඩොලර් බිලියන 2 ඉක්මවන ආධාර ප්‍රමාණයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මැදි වූ පසුගිය වසර තුළ පමණක් ගොවීන්ට ලබාදුන් පොහොරවල සිට කුඩා ව්‍යාපාරවලට ලබාදුන් අරමුදල් ආධාර යනාදී නව ආධාර වශයෙන් ඩොලර් මිලියන 270ක් එක්සත් ජනපද රජයෙන් ලබාදී තිබේ.

කාලයත් සමගින් නොසැලී වර්ධනය වූ අපගේ හමුදාවන් අතර සම්බන්ධතාවය තුළ ද්වීපාර්ශවීය පුහුණු, අභ්‍යාස, සහ තාක්ෂණික හුවමාරු කෙරෙහි අවධානය යොමුකරන අතර විවෘත, නිදහස් සහ සාමකාමී ඉන්දු-ශාන්තිකර කලාපයක් සහතික කිරීම සඳහා දායක විය හැකි ඔරොත්තු දෙනසුළු බලකායක් නිර්මාණය කිරීම සඳහා  එය උපකාරී වනු ඇත. ස්වේච්ඡා සේවකයින් 500කට වැඩි පිරිසකට තම ජීවිත කාලයෙන් දෙවසරක් හෝ වැඩි කාලයක් කැප කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සහ ජීවිත කාලයක් පවතින සම්බන්ධතා ගොඩනංවාගැනීමට මග පාදා ඇති සාම බලකාය 1962 පටන් දෙරට අතරේ පුළුල් සංස්කෘතික හුවමාරුවක් සඳහා උපකාරී වී තිබේ.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපල වන අතර, 2022 දී පමණක් ඩොලර් බිලියන 3.3ක අපනයන කටයුතු සිදු කර තිබේ. එසේම පසුගිය වසරේ සිසුන් 3,000ක් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් ජනපදයට සංචාරය කර ඇති අතර, එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ දක්ෂතමයින් අධ්‍යාපනය සඳහා තෝරාගන්නා ගමනාන්තයක් වී තිබේ. Fulbright සහ International Visitor Leadership Programs වැනි හුවමාරු වැඩසටහන් හරහා එ.ජ. තානාපති කාර්යාලය අනෙකුත් ශාස්ත්‍රීය සහ වෘත්තීය පුහුණු සඳහා සෘජුවම සහය ලබාදෙන අතර පසුගිය 75 වසරක කාලයක් පුරා එම වැඩසටහන්වලට සහභාගි වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි.

අප විසින් ගොඩනගාගෙන ඇති මේ සම්බන්ධතාවය ජනතාවගෙන්-ජනතාවට ඇති සබඳතා සංවර්ධනය සඳහා; ආර්ථික, දේශපාලන, හා සමාජ ප්‍රගතිය සඳහා; සහ භූගෝලීය වශයෙන් එය වැදගත් වන තරමට ම විවෘතව සහ නිදහස්ව පවතින කලාපයක් සඳහා පදනම සලසාලනු ඇත.

ගත වූ 75 වසර තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇමෙරිකාවේ වූ මිත්‍රත්වය, කැපවීම සහ සහය හරහා බොහෝ දේ සාක්ෂාත් කරගැනීමට හැකි වී ඇති අතර, එය සැමරීම උචිත වේ. ඒ මිත්‍රත්වය, කැපවීම සහ සහය ඉදිරියටත් පවතිනු ඇති අතර ශ්‍රි ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් අපට එක්ව දීප්තිමත් අනාගතයක් ගොඩනැගිය හැකිය.

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“මිහිතලය සමඟ සාමය ගොඩනඟමු”ජගත් පරිසර දින සැමරුමේදී ජනපති කියයි

Published

on

By

කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.

මෙවර ජගත් පරිසර දින තේමාව “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව “දලුලන්න – ඉඩදෙන්න” යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.

බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදියද මෙහිදී සිදු විය.

පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක් ව මෙවර පරිසර දිනය සමරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ කතාව

අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා  කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.

එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය  පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.

ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය  පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.

පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.

ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ  ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන්  හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන්  විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.  

මා අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබුණු නගරයක්. එහෙත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයා ගන්න නැහැ. අප හිතුවේ නැහැ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව  නගිද්දී අපට ඇහෙන්නේ රැහැයින්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලය තුළදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.

මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරී තිබෙනවා. පාරිසරික ව්‍යාපෘති ඉදි කිරීමේදී අපි පරිසරය පිළිබඳව කල්පනා කළාද කියා නැවත සිතා බලන්න ඕනේ. අපේ ඉතිහාසයේ මුතුන්මිත්තෝ කවදාවත් මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩනැඟුවේ නැහැ. හැමදෙනාම සිදු කළේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කරලා එයින් ලැබෙන වතුර තැන්නෙදි හරස් කරලා ජලාශ හැදීමයි. මිණිපෙ ඇළ හැදුණේ එහෙමයි. එකල මධ්‍යම කඳුකරයේ තමයි අලි ගහනය වැඩියෙන් තිබුණේ.

අපේ පරිසර පද්ධතිය තුළ කොක්කු රෑන්, සමනල රෑන් අද දකින්න නැහැ. මිනිසා සිදු කළ ව්‍යසනයේ ප්‍රතිඵල  අපට පෙනෙන්නට තිබෙනවා. සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමුන් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. එහෙත් පරිසරය සම්බන්ධව තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. පරිසරය සුරක්ෂිත කර මීළඟ පරම්පරාවට භාර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට පුරවැසියා  අප සමග සිටිනවා. ඒ නිසා අපේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවස්ථාවක් තිබෙනවා.  

පරිසරය පිළිබඳ ප්‍රශ්නයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ජාතික ප්‍රශ්නය කවරක් වුණත් පරිසර ප්‍රශ්නයේදී එකට සිටිය හැකියි.  පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය තුළින් ජාතික ඒකාග්‍රතාව ඇති කළ හැකියි.   පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව  ජාතික පරිසරය ගොඩනැගීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ දලුලන්න ඉඩ දෙන්න කියා.

අපි මේ පසට යළි ජීවය ගෙනැවිත් දිය යුතුව තිබෙනවා. වියළුණු පසක්, ජල පද්ධතිය පතුලටම හිඳුණ පසක්, අපි හැල්මේ දුවලා, කොන්ක්‍රීට් ප්ලාස්ටික් වේගය මත විනාශයට පත් කරන රාජ්‍යයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අප හැම දෙනාටම වගකීමක් ඇති බව මා විශ්වාස කරනවා.

එහිදී අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් විය හැකියි. එහෙත් අද අපට හෘද සාක්ෂියේ දැවැන්තයකු ලෙස නැඟී සිටිය හැකියි. අපේ රට අප එකට එක් ව යළි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත් කළ හැකියි. එදාට ලෝකය ශ්‍රී ලංකාව දෙස බලා මෙසේ පවසනු ඇති.

මෙන්න පස ආත්මයක් බවට පත් කර ගත් ජාතියක්. මෙන්න මිහිතලය සමඟ ප්‍රතිවිරෝධී නොවෙයි මිහිතලය සමඟ සාමය ඇති කර ගත් ජාතියක්. අද අපි ඉන්නේ මිහිතලය සමඟ ගැටුමක. මිහිතලය සමඟ සාමය ඇති කර ගත යුතු ජාතියක් ගොඩනැඟීම අපගේ සිහිනය බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් අප සැම එක් වෙමු.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved