Connect with us

පුවත්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම කාලය අවු. 63 තෙක් දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

Published

on

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බව  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින ක්‍රියා පටිපාටිය මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණි.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA)  හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට  සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත්, විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය. 

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු සහ සෞඛ්‍ය සේවා ආයතනවල කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව නිසා සිදුවූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. 

නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම, වෙනත් අරමුණු සඳහා අරමුදල් යෙදවීම වැළැක්වීම හා, වෛද්‍ය උපකරණ සඳහා හිඟ ගෙවීම් මෙන්ම සේවා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මූල්‍ය විනිවිදභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ලියකියවිලි සඳහා අදාළ  බලධාරීන් අත්සන් තැබීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබීය. 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක යන මහත්වරු සහ රේඛීය රාජ්‍ය ආයතනවල ප්‍රධානීහුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved