Connect with us

පුවත්

තිරිඟු පිටි සමාගම්වලට පගාව දීම ගැන සාගලගෙන් ප්‍රශ්න කළ යුතුයි – අනුර

Published

on

සමහර දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ වෙනුවෙන් අරමුදල් වියදම් කරණ ප්‍රීමා ආයතනයට සහ සේරන්ඩිබ් ආයතනයට මෙරට තිරිඟු පිටි ඒකාධිකාරියක් සකස් කර දී ඇති බවත් ඔවුන්ගේ මැතිවරණය වෙනුවෙන් මුදල් රැස් කර ගැනීමට ජනතාවට ඉතා අධික මිලකට පිටි මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවා වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් ප්‍රශ්න කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුරද දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් ඔහු පල කළ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

“අද වනවිට දිවයින පුරා බේකරි හයදහසක් පමණ ක‍්‍රියාත්මක වන අතර බේකරි කර්මාන්තය මගින් ලක්ෂ 05ක පමණ පිරිසක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නවා. එසේම ප‍්‍රධාන ආහාරය වන බත් හැරෙන්නට වතුකරයේ ජනතාව ඇතුළු වැඩිම පිරිසක් පාරිභෝජනය කරනු ලබන ආහාර වර්ග ගණනාවක ප‍්‍රධාන අමුද්‍රව්‍යය වනුයේ තිරිඟු පිටියි. මේ අනුව තිරිඟු පිටි මිල පාරිභෝගිකයින් විශාල පිරිසකගේ ජීවන වියදමේ විශාලතම පංගුව වන ආහාර වියදම්වලට ඍජුව බලපාන කරුණක් වනවා. ඔබතුමා දන්නවා ඒක. තිරිඟුපිටි දැනුත්, අපේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩයක්.

මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව 2023.06.14 දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් සහ ආනයන පාලකවරයාගේ 2023.06.16 ලිපිය මගින් ආනයන බලපත‍්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. මා ගාව තිබෙනවා, මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය. මෙම ගැසට් නිවේදනයෙන් තිරිඟු පිටි ආනයනය මුළුමනින්ම තහනම් කර තිබෙනවා. ඒ වගේම ආනයන පාලකවරයා විසින් නිකුත් කළ නිවේදනය මා ගාව තිබෙනවා. ඒ අනුව එය තහනමකට භාජනය කරලා තිබෙනවා. එසේම නව ආනයන බලපත‍්‍ර නිකුත් කිරීමක්ද සිදු කර නැහැ. ඒ වෙලාවේදි කිව්වා මේක තහනම් කලාට ආනයන බලපත්‍ර නිකුත් කරනවා කියලා. නමුත් මේ වනතෙක් එවැනි බලපත්‍ර නිකුත් කරලා නැහැ. ඒ අනුව දේශීය තිරිඟු පිටි අවශ්‍යතාව සපුරාලීමේ කටයුත්ත තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් දෙකක ඒකාධිකාරයට පත් කර තිබෙනවා. තිරිඟු පිටි අනානයනය කරන්න දෙන්නේ නැත්නම් මුලුමනින්ම ප්‍රීමා ආයතනයත් සෙරන්ඩිබ් ආයතනයත් තමයි අපේ රටට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය ඇති කරනු ලබන්නේ. දැන් මේ මුළු තිරිඟුපිටි වෙළඳපොලම ප්‍රීමා ආයතනයේත් සේරන්ඩිබ් ආයතනයේදී ඒකාධිකාරියක්. ගැටලුව වන්නේ ආනයනය කරනු ලබන තිරිඟු ඇටවලින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටි අයුතු ලාභයක් ලබමින් වැඩි මිලකට අලෙවි කිරීමට මෙම සමාගම් විසින් පියවර ගෙන තිබීමයි. ඔවුන් වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑම් 01ක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තරම් ඉහළ මිලකටයි. එසේම ඔවුන් ආනයනය කරනු ලබන තිරිඟු ඇට කිලෝග‍්‍රෑම් 01ක් වෙනුවෙන් රජයට ගෙවනු ලබන්නේ රුපියල් 03ක බදු මුදලක් පමණයි. ඇට කිලෝ එකකට රුපියල් 03ක වගේ බද්දක් ගෙනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 210කට මිල කරලා තිබෙනවා.

කෙසේ වුවද රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළි වන්නේ ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදීයි. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ‍්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමේදී පිටි කිලෝග‍්‍රෑම් 01ක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110ක් පමණයි. රුපියල් 110ට තිරිඟු පිටි කිලෝ එක්ක වරායට ගේන්න පුළුවන් නමුත් මේ සමාගම් මිල තීරණය කරලා තියෙන්නෙ රුපියල් 210ට. ඊට කලින් පනවා තිබූ බදු මුදල වන රුපියල් 35ක මුදලද එකතු කර වෙළඳපොළේ රුපියල් 160ක පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. මොකද පිටි කිලෝ එක්ක ආනයනය කිරිමේදී රුපියල් 35ක බද්දක් තිබ්බා. ඒ බද්දද ඇතුළත් කරලා පිටි කිලෝ එකක් රුපියල් 160කට ලබාදීමේ හැකියාව තිබ්බා. ඒ බද්ද 2023 ජනවාරි මාසයේ තුර්කි තිරිඟු පිටි මෙ.ටො. 01ක මිල ඇ.ඩො. 535ක් වූ නමුත් පෙබරවාරියේ 510ක්ද, මාර්තුවේ 490ක්ද, අප්‍රේල් මාසයේ 440ක්ද, මැයි මාසයේ 377ක්ද, ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇ.ඩො. 355ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 535ක් වුනත් වර්තමානයේ ලෝක වෙළඳපොලේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ‍ඩොලර් 355යි. ඒ කියන්නේ 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ පිටි මිල අඩුවෙලා තියෙනවා.

එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ, මාගාව තියෙනවා ලෝක වෙළඳපොලේ වාර්තාව, ඒ වාර්තාව දෙස ඉතා හොඳින් බලපුවාම පේනවා සීග්‍රයෙන් ලෝක වෙළඳපොලේ පිටිමිග සීග්‍රයෙන් පහළ යමින් තිබෙනවා. මේ වාර්තාව අනුව තමයි ලෝක වෙළඳපොළේ 510ක තිබ්බ පිටිමිප 377 දක්වා අඩුවී තිබෙන්නේ. ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙලා තියෙන්නේ. එසේම ජනවාරි මාසයේ ඇ.ඩො. 310ක් වූ තිරිගු ඇට මෙ.ටො. 01ක මිල පෙබරවාරියේ 307ක්ද, මාර්තුවේ 302ක්ද, අප්‍රේල් මාසයේ 292ක්ද, මැයි මාසයේ 279ක්ද, ජුනි මාසයේ 245ක්ද, ජූලි මාසයේ ඇ.ඩො. 238ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ලෝක වෙළඳපොළේ තිරිඟු ඇට මිල අඩුවෙලා තියෙනවා. තිරිඟු පිටි මිල අඩුවෙලා තියෙනවා. ජනවාරි මාසයේ ඇමරිකන් ඩොලර් 310ක් වුනු තිරිඟු ඇට මෙට්‍රික්ටොන් එකක් ජුනි මාසේ වෙනකොට 238 දක්වා විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා. අනෙක් අතට ජනවාරි මාසයේ රු. 362.42ක් වූ ඩොලරයේ අගය ජූනි මාසය වන විට සටහන් වූයේ රු. 301.26ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලැබූ බව සහ ලබමින් සිටින බව ඉතා පැහැදිලියි. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් පිටි මිල අඩුවෙනවා. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් තිරිඟු ඇට මිල අඩුවෙනවා. ඒ වගේම ඩොලරයේ අගයත් 362 සිට 301 දක්වා අඩුවෙලා තිබෙනවා. දැන් මොකක්ද වෙන්න ඕන. මේ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්න ඕනා. හැබැයි ආණ්ඩුව මොක්ද කළේ. ආණ්ඩුව කරපු දේ තමයි ජුනි මාසේ 14 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිරිඟු පිටි ආනයන බලපත්‍ර ලබාදීම නතර කරනවා. එතකොට සේරෙන්ඩ්බ් ආයතනය සහ ප්‍රීමා ආයතනයට ඒකාධිකාරියක් ඇති වෙනවා. මේවා ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ කතා, මේ ආයතනයන් දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ කටයුතුවලට සල්ලි දෙන බව. දැන් මොකක්ද සිදු කළේ. පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොළේ පිටි මිලත් අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගයත් පහළ යමින් තිබියදී පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්ධක් ගහලත් රුපියල් 160ක වැනි මිලකට පිටි කිලෝ එකක් ලබාදෙන්න තිබියදී ප්‍රීමා ආයතනයට සහ සේරෙන්ඩිබ් ආයතනයට මේ පගාව දුන්නේ කවුද? සගල රත්නයකගෙන් ප්‍රශ්න කරන්න ඕනා. මේකය මේගොල්ලො කළේ. එයා එයාගෙ වැඩේ කරන්න. මුදල් අමාත්‍යාංශයේ බදු තීරණය කිරිමේ බලය කොහොමද එයාට ලැබිල තියෙන්නේ?. එයා කොහොමද තීරණ ගන්නේ? එයා කොහොමද බලපෑම් කරන්නේ?

ඒ නිසා අද පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොලේ පිටිමිල අඩුවෙමින් තිබියදී, ඩොලරයේ අගය අඩු වෙමින් තිබියදී වෙළඳපොළේ පිටි ආනයනය මුළුමනින්ම නතර කරලා සමාගම් දෙකක් මත ඒකාධිකාරිත්වයක් හදලා අදත් පිටි කිලෝ එකක් රුපියල් 210යි. ඊයේ (18) රෑ අඩු කරලා තිබෙනවා බේකිරි හිමියන්ට විතරක්. ඒත් මේක දැනගෙන.

මෙවැනි තත්වයක් තුළ දේශීය වශයෙන් සාපේක්ෂ මිල අඩු කිරීමකට බල නොකර සහ ආනයනික පිටි කිලෝග‍්‍රෑම් 01කින් රජයට හිමි විය යුතු රුපියල් 35ක බදු මුදලද අහිමි කර ගනිමින් ආණ්ඩුව තිරිඟු පිටි ආනයන තහනමක් පනවා පාරිභෝගිකයින් සූරාකෑමට පිටි නිෂ්පාදන සමාගම් දෙකකට ඉඩ දී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක්. මොකද පිටි ආනයනයට රුපියල් 35ක බද්දකුත් ගැහුවා. දැන් ඒ බද්දත් නැහැ. පාරිභෝගිකයන්ට සාධාරණ මිලට පිටිත් නැහැ. ඒ නිසා මම දැනගන්න කැමතියි මේ තීන්දු තීරණ ගැනෙන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි මේක තහනම් කරනකොට කිව්වා බලපත්‍ර දෙනවා කියලා. හැබැයි කාටවත් බලපත්‍ර දුන්නෙත් නැහැ.

එසේම පිටි ආනයන තහනම පැනවීමේදී ආනයනය සඳහා බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව ප‍්‍රකාශ වුවද මේ වන තෙක් ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් වී නැහැ. අවම වශයෙන් ලෝක වෙළපොළේ තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මෙම සමාගම්වලින් ඉල්ලීමට පවා ආණ්ඩුව බිය වී සිටිනවාදැයි සැක උපදිනවා. අනික් හැමඑකකටම ඕගොල්ලො පාලන මිලක් දානවා. හැබැයි මේකෙද මොකක්ද 210ට වඩා වැඩියෙන් විකුණන්න බැහැ කියනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල අඩු වෙමින් තිබියෙදී පිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ කවර හේතුවක් නිසාද?
ප‍්‍රකාශ කර ඇති පරිදි තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ආනයන බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේද? එම බලපත‍්‍ර ලබාදීම සඳහා වන ක‍්‍රමවේදය කුමක්ද?
ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සහ තිරි`ගු ඇට මිල ක‍්‍රමිකව අඩු වෙමින් තිබියෙදී ආනයනය නතර කිරීමෙන් වෙළඳපොළ තුළ තිරිඟු පිටි ඒකාධිකාරයක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද?

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය හා බැඳුණු මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරයෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා පියවර කවරේද?

මේක වැදගත්, ඇයි ආනයනික බලපත්‍ර නතර කළේ? ලෝක වෙළඳපොළේ පිටිමිල අඩුවෙමින් තිබියදී ඇයි අනික් අයට ආනයනය සඳහා තිබුණු අවස්තා අහිමි කළේ? ඒ සමාගම් දෙක ඇට ගෙනල්ලා පිටි කරලා විකුණනවා. ඕනනම් තව ඕන කෙනෙකුට පිටි ගෙනල්ලා විකිනීමේ හැකියාව තිබෙනවා. ඕනන්ම තත්ව පරීක්ෂාවකටත් භාජනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්දක් ගැහුවා. ඒ අර සමාගම් දෙක ආරක්ෂා කරලා දෙන්න. ඒ සමාගම්වලට ගැහුවේ ඇට කිලෝ එකකට රුපියල් 03ක බද්දක්. පිටිවලට ගැහුවා රුපියල් 35ක බද්ධක්. මේ සමාගම් ලේස සමාගම් නෙවෙයි, බහුජාතික සමාගම්. එතක කිසිසේත්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමේ න්‍යායක් නැහැ. අපි සමහර බදු ප්‍රතිපත්තිවලට එකඟයි. අපේ රටේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම සඳහා. මේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම නෙවෙයි. එයින් ලැබෙන අතිරේක ලාබය, ඩොලර් ලෙස අරගෙන යනවා රටෙන් එළියට. ඒ නිසා අනික් අයට ආනයන නතර කිරීමේ නිවේදන නිකුත් කළේ ඇයි? ඒ වගේම ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙමින් තිබියදී තිරඟු ඇට මිල අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගය අඩුවෙමින් තිබියදී ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව වෙන ආකාරයකින් ඒ සමාගම් මුදල් උපයාගැනීම සඳහාත් විවිධ දේශපාලන අධිකාරීන් වෙත මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දෙ සඳහා ෆන්ඩ්එක හදනවා මේ සල්ලිවලින්. මේකයි තියෙන එකඟතාවය. මේගොල්ලො හැම ජනාධිපතිවරණ ඡන්දෙකම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය, නොදන්න කෙනෙක් නැහැ ඒක. මේ මොකක්ද කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේ අරමුදල් සඳහා තමයි මේ පිටි අධික මිලකට පාරිභෝගක ජනතාවට ලබාදෙන්න සිදු වී තිබෙන්නේ.”

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved